කෝටි දෙකක කහ තොගයක් රේගු බාරයට


 
(ටී.කේ.ජී.කපිල සහ​ ඉන්දිකා රාමනායක) 

 

බී ලූනූ ලෙස කියමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් අද (14)  තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. කොළඹ ඔරුගොඩවත්ත  අංගනයකදී රේගු අත් අඩංගුවට ගත් මෙම කහ කැබලි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අනු ලක්ෂයකි 

බී ලූනු මෙරටට ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද ශත 25 දක්වා අඩු කර තිබීම නිසා ව්‍යාපාරිකයන් වෙනත් බොහෝ වෙළෙඳ භාණ්ඩ , බී ලූනු බව ප්‍රකාශ කරමින් මෙරටට ආනයනය කරන බව රේගුව සිදු කරන ලද විමර්ශන වලදී හෙළිදරව් කර ගෙන තිබේ . ඒ අනුව බහාලුම් 04 ක බහා මෙම කහ කැබලි කිලෝ ග්‍රෑම් 25,450 ක් ඉකුත් 9 වැනිදා  දින ඩුබායි සිට කොළඹ වරායට  ගෙනැවිත් තිබුණි. මෙම කහ තොගය ගෙන්වා ඇත්තේ කොළඹ පිටකොටුවේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු විසිනි.

මෙම බහාලුම් 04 කොළඹ වරායෙන් , ඔරුගොඩවත්ත අංගනයක් වෙත රැගෙන විත් තිබූ අතර , අද දහවල් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් එය විවෘත කර පරීක්ෂණ කටයුතු කළහ .

මේ වනවිට මෙම නීතිවිරෝධී ආනයනයට සම්බන්ධ පුද්ගලයන් 03 කු රේගු අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .