කෝටි දෙකක ඖෂධ පොලිස් රෝහලෙන් පන්නයි


නාරාහේන්පිට පොලිස් රෝහලේ ගබඩා කොට තිබු රුපියල් කෝටි දෙකකට අධික ඖෂධ අස්ථාන ගතවී ඇති බව පොලිස් රෝහලේ කටයුතු සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකදී හෙළි වු බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතාට දැනුම් දුන්නේය.

පොලිස් රෝහලේ ඖෂධ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ වලදී මේ බව හෙළි වු බව දැනුම් දුන් රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බවද දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පොලිස් රෝහලේ අරක්කැමි ක‍්‍රිස්ටෝපර් ඇන්ටනි සහ එහි ඹෟෂධවේදී බන්ධුල විජේවීර සහ නාරාහේන්පිට ඔසුසල් හිමියකු වන රුචිර සන්ධ්‍යාසිරි හේවාවසම් නමැති පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සැකකරුවන් ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අතර දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බව කියන සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියම කැරිණි.