කෝටි තුන හමාරේ මුදල් වංචාවට හය දෙනාම රිමාන්ඩ්


(උපාලි ආනන්ද)
 
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි  අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටි ආදායම් පාලක, ඇගේ සැමියා, සහෝදරයා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත මුදාහැරීම යළි තරයේ ප‍්‍රතික්ෂේප කර ඔවුන්ව දෙසැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  අද (27) නියෝග කළේය.


අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාරව කටයුතු කළ යුත්තේ මාණ්ඩලික ශ්‍රේණීයේ නිලධාරියකු වුවද එම  මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ කම්කරු සේවිකාවක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මීට පෙර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.


වසර පහක පමණ කාලයක් මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ මෙම මූල්‍ය වංචා සිද්ධියට දැනට රිමාන්ඩ් කර සිටින කම්කරු සේවිකාව බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මහ නගර සභාව සතු මුදල් බැංකු ගත කළ ලේඛන මේ වන විට නගර සභාව සතුව නැති බවත් ඒවා අස්ථාන ගත කරන්නට හෝ විනාශ කරන්නට ඇති බවට සැකයක් පවතින බවත් තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.


එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වානිජ අපරාධ විමර්ශන අංශය තවදුරටත් අධිකරණයට කියා සිටියේ මෙම මූල්‍ය වංචාවට සැකපිට රිමාන්ඩ් බාරයේ රඳවා සිටින පළමු සැකකාරියගේ මහ නගර සභාවේ වැටුප් විෂය නිලධාරිනිය ලෙස රාජකාරිකෙළ කම්කරු සේවිකාවගේ දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් වලටද නගර සභාව සතු මුදල් රුපියල් ලක්ෂ ගණනක් බැර කර ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා පරික්ෂණ ක‍්‍රියාත්මක බවයි.


මෙලෙස රිමාන්ඩ් කරනු අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ලෙස කටයුතු කළ අනියම් කම්කරු සේවිකා ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ ඇගේ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ ඇගේ සහෝදරයෙකු වන ඩබ් අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන පද්මිණි එස් එම් නාලක බණ්ඩාර සහ තාජුල් කරීම් තාජු රහමන් යන අය වෙති.