කෝටි 5 ක් රේගු දැලේ


රුපියල්  කෝටි  පහක් වටිනා  විවිධ වර්ගයේ විදේශීය මුදල් තොගයක්  ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
 
සැකකරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ ගමන් මල්ලේ තිබී කුවෙට් ඩිනාර් 950, ජපන් යෙන් 110,000, කටාර් රියාල් 48500, සෞදි රියාල් 802,000, ඇමරිකන් ඩොලර් 72,000, යුරෝ 450, එංගලන්ත පවුම් 30,000, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 33,500 ක් සොයාගත් බව රේගුව කියයි.

ඔහු කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 663 දරණ ගුවන් යානයෙන් ඩුබායි හරහා කටාර් රාජ්‍යය වෙත යාමට කටුනායකට පැමිණ සිටියදී අද  අළුයම 3.55 ට පමණ අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටු‍පොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන තිලංක සමරවීර, මුදිත විතාන, ලක්මල් තෙන්නකෝන්, ඩන්කන් හෙට්ටි ආරච්චි සහ සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.

photo