(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශික ගුවන් මගී කාන්තාවක් ද ඊයේ (15 ) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 36 හැවිරිදි කැනඩාව ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබේ .
පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් , එම නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය , සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12 ක් තුළ , එක් ඇසුරුමකට 06 බැගින් වන සේ , කාබන් කොළ වල ඔතා , ඇසුරුම් 72 ක් ලෙස සකස් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට , වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පහළ කරති.