කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි


(ඉන්දිකා  රාමනායක සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න  ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක්
වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එම කණ්ඩායමක් විසින් සැකකරුවන් ඊයේ (2) රාත්‍රියේ සහ  අද (3) අලුයම  අත්අඩංගුවට ගෙන ඇත

කිරිමැටියාන ප්‍රදේශයේ දි හෙරොයින් ග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව..තවත් සැකකරුවන් තිදෙනෙක් හොරායින් කිලෝ 2 යි ග්‍රෑම් 232ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය  පවසයි.

එම සැකකරුවන් සිව් දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 13 ග්‍රෑම්  485ක ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු  සමග අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් සහ සැකකරුවන් වැඩිදුර  පරීක්ෂණ සඳහා කොළඹ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත රැගෙනවිත් ඇත.