මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවුලේ සාමාජිකයන් හා සහායකයන් ඩුබායි රාජ්‍යයේ බැංකු ගිණුම් තුනක ඇමරිකා ඩොලර් කෝටි 200ක් තැන්පත් කර ඇතැයි කියන සිද්ධිය ගැන සෙවීමට ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහායද පතා ඇතැයි ඉන්දියාවේ ‘ඉකොනොමික් ටයිම්ස්‘ සඟරාව කියයි.
රාජපක්ෂ රජය සමයේ ඩුබායි බැංකුවල තැන්පත් කළැයි කියන මෙම මුදල ගැන ශ්‍රී ලංකාව පරීක්ෂණ අරඹා ඇත.
රාජපක්ෂ පවුලට අයත් බව කියන එක් ගිණුමක ඩොලර් බිලියන 1.064 ක් ද අනෙක් දෙදෙනා වෙන වෙනම ඩොලර් කෝටි 50 ක් බැගින් ඇතැයි කියති.
මෙම මුදල් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේත් ඇමරිකාවේත් සහාය පතයි.
ඉන්දියා නිල ආරංචි පවසනුයේ ඩුබායිහි තැන්පත් කර ඇති බව කියන මුදල රාජපක්ෂ පවුලේ සමහර සාමාජිකයන් විසින් එතෙර යවන ලදැයි කියන මුදලින් 20%කට සමාන බවයි.
රාජපක්ෂ පවුල අවධාරණයෙන් කියා සිටිනුයේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. පවුලේ අය කිසිම වරදක් නොකළ බවයි.
ශාන්ත මාටින් දූපත්, හොංකොං, මැකාවු හා සීෂෙල්ස් හි ඇතැයි කියන ලංකා වත්කම් සොයා ගැනීමට උපකාරී වන්නැයි ගිය මාසයේ නව දිල්ලියට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවෙන් ඉල්ලීමක් කළේය.
ඩුබායි කෙන්යා හා උගන්ඩාවෙන් ඉඩකඩම් ආයෝජනය කර ඇතැයි කියන අති විශාල මුදල් සම්බන්ධයෙන්ද සිරිසේන මහතා ඉන්දියාව සමග තොරතුරු හුවමාරු කර ගත්තේය.
මේ අතර ගිය රජයේ බලගතු දේශපාලනඥයන් දෙදෙනකු ඩුබායි බැංකුවක පවත්වාගෙන ගිය බව කියන ඇමරිකා ඩොලර් සිය කෝටියක (රුපියල් කෝටි 13300) බැංකු ගිණුමේ විස්තර ශ්‍රී ලංකා රජය සොරකම් කළ වත්කම් සොයා ගැනීමේ ලෝක බැංකු කාර්යාලයට බාර දී ඇත.
ඉන් එක් අයකු ගිය රජයට දැඩි පවුල් සබඳතාවයක් තිබූ බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 53 (රුපියල් කෝටි 7045) ක් ද අනෙක් පුද්ගලයා එම පවුලේ කුදු මහත් වැඩකටයුතුවලට එතෙර මෙතෙරදී සහය දුන් බලවතකු බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 52 (රුපියල් කෝටි 6912) කට ආසන්න මුදලක්ද ප්‍රධාන පෙළේ ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයිද කියති.
මෙම බැංකු ගිණුම් දෙකේ තොරතුරු වෙනත් කිසිවකුටත් ලබාගත නොහැකි ආකාරයෙන් එම අංශයේ කළමනාකරු ඊජිප්තු ජාතිකයකුගේ සෝදිසිය යටතේ පවත්වාගෙන යන බවත් මෙම මුදල් කොමිස් හා වෙනත් දූෂිත ආකාර වලින් උපයාගෙන ඇති බවත් මෑතදී මියගිය අරාබි නායකයකු තෑගි කළ වත්කම්ද ඊට අයත් බවත් කියති.

