කෝටි 125 ක අල්ලස : රේගුවේ තවත් දෙන්නෙක් ගැන පරීක්ෂණ


මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන අනෙක් රේගු නිලධරයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ ක‍ළේය.

සැකකරුවන් දෙදෙන අත්අඩංගුවට ගැනීමට කල් දෙන ලෙසද කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවත් රේගු නිලධරයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද එම නිලධරයෝ අධිකරණයට දැනුම් දුන්හ.

දැනට අත්අඩංගුවේ සිටින රේගු නිලධරයින් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසිංහ මහතා කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ නිලධරයින් ඔවුන්ට පහරදී ඇති බවටත්, බලහත්කාරයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටත් චෝදනා කළේය.

සැකකරුවන් රඳවා සිටි කුරුවිට බන්ධනාගාරයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මිස්බා සාතා ගිය අවස්ථාවේදී ඔහුගේ නීති සංගම් සාමාජිකත්වය කල් ඉකුත්වී ඇතැයි කියමින් ඔහුට සැකකරුවන් හමුවීමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබාදී නැතැයිද නීතිඥ වීරසිංහ මහතා අධිකරණය හමුවේ පැවසීය.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් නීතිඥවරුන්ට තම හැදුනුම්පත පෙන්වා සැකකරුවන් හමුවීමට හැකි බව කියා සිටියේය.

කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ඇතුළුවීමට එම නීතිඥවරයාට අවසරය ලබා නොදුන්නේ මන්දැයි ඉදිරි නඩු වාරයේදී හේතු දක්වන ලෙස කුරුවිට බන්ධනාගාර බලධරයින්ට නියෝග කළේය.අල්ලස් හෝ දූෂණ කොමිසමේ සිට පැමිණි අවස්ථාවේ සැකකරුවන් බන්ධනාගාර බලධරයින්ට ලබාදුන් ප්‍රකාශයන්ද එම නඩු වාරයේදීම ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිඥ අශෝක වීරසිංහ මහතාට නියෝග කළේය.

සැකකාර රේගු නිලධරයින් තිදෙන නොවැම්බර් මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරණු ලැබූහ.

 

CUST-1030-01 CUST-1030-02 CUST-1030-03 CUST-1030-04