කෝටි 11ක රන් කටුනායකින් අල්ලයි


(ටී.කේ.ජී.කපිල)

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති රන් බිස්කට් 28ක්, මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (11) පස්වරුවේ  අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු හලාවත ප්‍රදේශයේ පදිංච් 58 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ව්‍යාපාරිකයන් සදහා වූ "රක්ත මාවත" ( Red Channel) ඔස්සේ පැමිණ , තමන් ගෙන ආ මෝටර් රථ අමතර කොටස් තොගය සදහා අදාල තීරු බදු ගෙවා ගුවන් තොටුපොළෙන් පිට වී යාම ආරම්භ කර තිබේ .

එහෙත් ඔහු පිළිබද ලැබී තිබූ  බුද්ධි තොරතුරු පදනම් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහු අත් අඩංගුවට ගෙන , මෙම මෝටර් රථ අමතර කොටස් , ගලවා සියුම් ලෙස පරීක්ෂා කර බලන්නට විය .

එහිදී එම මෝටර් රථ කොටස් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 266 ක් බරැති  , රන් බිස්කට් 28 ක් සොයා ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි. 

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා , ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් බිස්කට් තොගය, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .