කෝටි 10ක් ඉල්ලා උදයංගගේ පෙත්සම නැන්දනිය ගෙනෙයි


තමාට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් එම වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරන ලෙසත්  රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 11 කැඳවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කළේය.

නඩුවට පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (6) නොපැමිණි බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් අනුව එම නියෝගය කැරිණි.

පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප‍්‍රසන්න ජයවර්ධන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

දැනට යුක්රේනයේ කිව් නගරයේ සිටින බව කියන උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන මාන්නප්පෙරුමගේ ලතා ඉන්ද්‍රානි මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනකු නම් කරනු ලැබ සිටිති.