කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය


(නිමල කොඩිතුවක්කු)


    
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත‍්‍රය  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16) පිළිගන්වන ලදී.


උන්වහන්සේගේ විජිනිපත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිළිගනුවනු ලැබීය.


මෙම අවස්ථාව සඳහා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියන්, අග්ගමහා පණ්ඩිත නාපාන පේ‍්‍රමසිරි  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්, ආචාර්ය නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන්, ආණමඩුවේ ධම්මදස්සී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  අනු නායක හිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.


උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියෝ විසින් සිදු කළ අතර ආචාර්ය  නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු  මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන් අනුශාසනාවක් සිදුකරනු ලැබීය.


බුරුම රාජකීය ඥාතීත්වයක් ඇති පිරිසක් ශ්‍රී සන්නස්පත‍්‍රය වැඩම කල අතර විජිනිපත තැන්පත් කල දෝලාව තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් පිරිසක් වැඩම කරවූහ. 


ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ප‍්‍රසාද පූජක පිළිගැන්විම දෙස් විදෙස් බෞද්ධ සැදැහැවතුන් විසින් සිදුකරනු ලැබීය.


ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් විසින් රචිත ධර්ම ග‍්‍රන්ථ ත‍්‍රනිකායික මහානායක හිමිවරුන්ට පිළිගැන්විම ද එහිදී  සිදුකෙරිණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි