කොළඹ වාහන ධාවනයට අදත් සීමා


ජාතික නිදහස් දින පෙරහුරු අද දිනයේ ද පැවැත්වෙන බැවින් කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය පවසයි.

අද උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා ගාලු මුවදොර වටරවුමේ සිට පැරණි පාර්ලිමේන්තු වටරවුම දක්වා කොටස හා චෛත්‍ය පාරේ රථ ධාවනය සීමා කරන බවත් උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා මාර්ගයේ ධාවනය කළ හැක්කේ පදිංචි කරුවන්ගේ වාහන හා මගී ප්‍ර‍වාහන රථ පමණක් බවත් පොලිසිය පවසයි.

සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, පරණ පාර්ලිමේන්තුව දෙසට දාවනය කළ හැක්කේ කාර්යාල වාහන පමණක් බවත් කොල්ලුපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට හ රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට පැමිණිය හැක්කේ පදිංචි කරුවන්ට පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම රථ වාහන සැලැස්මට අනුව පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා යෝක් විදියෙන් බැංකු මාවත දෙසට කාර්යාල වාහන සඳහා පමණක් ඉඩ ලබා දෙයි. පෙරවරු 8 .15 සිට මධ්‍යහ්න 12.00 දක්වා ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියේ සිට පරණ පාර්ලිමේන්තු හන්දිය දක්වා කාර්යාල වාහන සඳහා පමණක් ධාවනයට අවසර ඇත.

මේ අතර කොළඹින් පිටවන බස් රථ සහ සැහැල්ලු වාහන ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, මාරදාන පාලම හන්දිය, ටි.බී. ජයා මාවත, ඉබ්බන්වල හන්දිය, යූනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, කන්නන්ගර මාවත, නිදහස් වටරවුම,රිඩ් මාවත, තුන්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ. ද මෙල් මාවත ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලීසිය පවසයි.