කොළඹ රථ වාහන පෙරහුරුවක්


මරදාන පාලම් හංදියේ සිට ටෙක්නිකල් හංදිය දක්වා ද, ටෙක්නිකල් හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද එක් දිශාවකට වාහන ගමන් කරවීමේ පෙරහුරුවක් අද සහ හෙට (30) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ඒ අනුව මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට එන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුල්ව එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරී ටෙක්නිකල් හංදියෙන් වමට හැරී පිටකොටුවට යා යුතුය.

ගාමිණී වටරවුම දෙස සිට සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම ටෙක්නිකල් හංදියට පැමිණ එතැනින් දකුණට හැරී සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යායුතුය.

පිටකොටුව දෙස සිට උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණී වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණී වටරවුම දෙසට ගමන් කළ යුතුය.

ටෙක්නිකල් හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසු කර ගාමිණී වටරවුම දෙසට වාහන ඇතුල් කිරීමට අවසර ලැබේ.

මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවසර නැත. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය හංදිය දක්වා ගමන් කළ හැකිය.