කොළඹ යැවූ රෝගියා ආපසු කැඳවයි


සෙම අමාරුවකට බෙහෙත් ගැනීමට ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කළ රෝගියකු ගිලන් රථයකින් කොළඹට ගෙන යද්දී ඇඹිලිපිටියට  යළි කැඳවීම නිසා රෝගියා මියයාම සම්බන‍ධව විධිමත් පරීක‍ෂණයක් පවත්වන්නැයි ඔහුගේ බිරිය සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලයි.

  ඇඹිලිපිටිය  ගඟේයායේ   ආයුර්වේද වෛද්‍ය  එස්.පී. විජේවික්‍රම (57) නම් පියා එසේ මිය ගියේය.

සෙම වැඩිවීමේ රෝග තත්ත්වයක් නිසා ඔහු පසුගිය 23දා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේදී ඔහු පරික‍ෂාකළ වෛද්‍යවරුන්   ඔහු  කොළඹ මහ රෝහලට මාරුකිරිමට නිර්දේශ කර ඇත. ඒ අනුව ගිලන් රියකින් ඔහු කොළඹට ගෙන යද්දි අතරමගදි යළි අමාරුවී කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර දී තිබේ.

කොළඹට ගෙනයාමට  වෛද්‍යවරයෙකු ගිලන් රථයෙන් පැමිණ නැතිබවද ඥාතීහු කියති. කහවත්ත රෝහලෙන්ද වෛද්‍යවරයෙකු  ලබා නොදීම හේතුවෙන් රෝගියා ආපසු ඇඹිලිපිටිය මුලික රෝහලට ආපසු ගෙන එන්නැයි ඇඹිලිපිටිය මුලික රෝහලෙන් උපදෙස් ලැබී තිබේ.  ඒ අනුව රෝගියා නැවත ඇඹිලිපිටිය රෝහලට ගෙනගිය පසු මියගොස් ඇත. මෙම රෝගියාගේ මරණය ඇඹිලිපිටිය රෝහලේ   වැරදි උපදෙසක් නිසා සිදුවුවක් බවට ඥාතීහූ කියති. කහවත්තේ සිට ඇඹිලිපිටියට දුර ලිලෝමීටර 46කි.

තම සැමියාගේ මරණයට ඇඹිලිපිටිය රෝහල් බලධාරින් වගකිව යුතුයැයි සෞඛ්‍ය ඇමතිවරයාට, සබරගමු පළාත් සෞඛ්‍ය ඇමතිවරයාට, පලාත් සෞඛ්‍යසේවා අධ්‍යක‍ෂවරයාට සහ ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක‍ෂවරයාටත් මියගිය වෛද්‍යවරයාගේ බිරියවූ ඩි.වී. මල්ලිකා මහත්මිය පැමිණිලි කිරීමට යයි.

  සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් දුරකතනයෙන් විමසුවිට ඒ මහතා පැවසුවේ ඒ සම්බන‍ධව විධිමත් පරීක‍ෂණයක් වහාම පවත්වන බවයි. තමන්ට සිද්ධිය සම්බන‍ධයෙන් 24දා සවස් වනතුරු නිසි තොරතුරු හෝ පැමිණිල්ලක් නොලද බවද  වෛද්‍ය   කන්නන්ගර මහතා කීවේය. රෝහල් කාර්ය මණ්ඩලයේ වැරදි උපදෙසක් මත මෙවැනි අවාසනාවන්ත සිදුවිමක් වුයේ නම් එය සමාව දිය නොහැකි වරදක් බවත්  පැමිණිල්ලක් ලැබුණ ද නොලැබුණද   වහාම සොයා බලන බවද පවසයි.