කොළඹ තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනයට පියවර



 
 
පුෂ්පකුමාර ජයරත්න

 
ඉදිරි වසර විස්සක කාලයක් සඳහා මෙරට දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට ලබාදිය යුතු දායකත්වය හඳුනාගෙන ඒ සඳහා කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ත්‍රිත්ව සහ  මාර්ග හතරක් ලෙස සංවර්ධනය කිරිමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.


ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්ව ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ව්‍යාපෘතිය කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ලෙස හැදින්වේ.


ඉදිරියේ දී යෝජිත සංවර්ධන ව්‍යාපාතියක් වන විදුලි දුම්රිය ධාවනය ද ඉලක්ක කර නව සමාන්තර මාර්ග නවීකරණය කිරිම මෙයින් සිදුකෙරේ.


මේ අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රාගම දක්වා පවතින ත්‍රිත්ව මාර්ගය මාර්ග හතරකින් ද , රාගම සිට වේයන්ගොඩ දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග තුනකින් ද යුක්තව ඉදිකරන අතර වේයන්ගොඩ සිට රඹුක්කව දක්වා පවතින ද්විත්ව මාර්ගය නවීකරණය කිරිම ද සිදු කිරිමට නියමිතය.


මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග තුනකින් යුක්ත මාර්ගයක් ලෙස ඉදිකෙරෙන අතර පානදුර සිට කළුතර දක්වා පවතින ද්විත්ව මාර්ගය ද නවීකරණය කෙරේ.