(සුජිත් හේවාජුලිගේ )
ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට එකවරම කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ.
තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් මෙම දුම්රිය පසුව නවත්වා නැවතත් පසුපසට ගෙන නියමිත මාර්ගයේ ධාවනය කරවනු දැකගත හැකිවිය.
දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා මෙසේ කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය පාලන මැදිරියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය
තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.
එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක් බවද ඔහු සඳහන් කළේය. මේ සිද්ධිය හේතුවෙන් දුම්රිය මද වේලාවක් ප්‍රමාදවූ බව මගීහු පිරිසක් අප සමග පැවසූහ.

