කොළඹ - ගම්පහ පෞද්ගලික බස් අද නෑ


කඩවත - කිරිල්ලව, ගම්පහ සහ නිට්ටඹුව සිට කොළඹට ධාවනය කැරෙන සියලු පෞද්ගලික බස් රථවල සේවකයෝ අද (31) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

මෙම බස් රථ සේවකයෝ පසුගිය බ්‍රහස්පතින්දා (28) සවස ද වර්ජනයේ නියුතු වූ අතර දුර ගමන් සේවා බස් රථ අතරමගදී මගීන් නංවා ගනිතියි ඔවුහු චෝදනා කරති. මේ හේතුවෙන් බස් රථ කිහිපයකට පහර දීමක් ද සිදුවිය.

ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 10ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදී සියලු පාර්ශව සමග සාකච්ඡාවක් ලබාදී තිබියදී අද එක්වරම පෙරවරුවේ මෙම බස් වර්ජනය ක්‍රියාත්මක කර ඇතැයි මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා පැවසීය.

පසුගියදා පැවැති වර්ජනයට සහාය නොදුන් බව කියමින් නිට්ටඹුව - කොළඹ බස් රියකට දෙදෙනකු පහරදී ඇති බවත් ඔවුන් කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් කියති.

ඒ අනුව කඩවත - කොටුව, කිරිල්ලවල - කොටුව (138),  ගම්පහ - කොළඹ (200) සහ නිට්ටඹුව - කොළඹ (180) පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ ධාවනය නොවීමෙන් උදෑසන රාජකාරී සඳහා යන බොහෝ මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.

මගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ලංගම බස්රථ වැඩි වශයෙන් යෙදවීමට ඉල්ලීමක් කර ඇති බවත් අනෙකුත් අතුරු මාර්ගවල ධාවනය වන බස්රථ පොලිස් ආරක්ෂාව යටතේ ධාවනය කරවීමට යෙදවීම සඳහා කටයුතු කරන බවත් වනිගරත්න මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දුර ගමන් සේවා හා කෙටි ගමන් සේවා බස් රථ සේවකයන් අතර දිගු කලක් තිස්සේ මෙම ගැටුම පවතින බවත් ඊට ප්‍රධානතම හේතුව බලධරයින්ගේ දුර්වලකම බවත්ය. නිසි පරිදි නැවතුම්පළවල් සාදා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අද දිනයේ සාකච්ඡා මට්ටමින් මෙම ගැටලුව විසඳා ගැනීමට කටයුතු යොදන බවත් ඔහු කීවේය.