කොළමුණු ඔයෙන් කාලතුවක්කු උණ්ඩ තුනක් හමුවෙයි


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කෝන්මිටියන පනාගමුව ප්‍රදේශයේ කොළමුණු ඔයේ තිබී කාලතුවක්කු උණ්ඩ තුනක්  සොයාගත බව පොලීසිය කියයි.

පනාගමුව පාලම අසළ ඔය තුල විශාල උණ්ඩ තුනක් ඇති බවට කටුපොත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කල සොයාබැලීමකදී පනාගමුව පාලම අසල ඔයේ තිබියදී පොලිසිය විසින් එම උණ්ඩ සොයාගනු ලැබීය.

අනතුරුව පොලිසිය විසින් එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා මේ පිළිබඳව වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. පසුව එම උණ්ඩ නිශ්ක්‍රිය කිරීමට ලබාගත් අධිකරණ තීන්දුවකට අනුව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට අද (03) පැමිණියහ.

විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් විසින් අදාළ උණ්ඩ තුන ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී ඒවා කාලතුවක්කු උණ්ඩ බවට හඳුනාගන්නා ලදී. ප්‍රමාණයෙන් විශාල එම උණ්ඩ එම ස්ථානයේ නිශ්ක්‍රිය කිරීමට නොහැකි බවින් ඒවා ආරක්ෂිතව රැගෙන යාමට එම නිලධාරීහු පියවර ගත්හ.

දිය තුල තිබීමෙන් දුර්වර්ණව තිබූ මෙම උණ්ඩ තුන කාලයකට පෙර කිසිවෙකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි. මීට කාලකට පෙරත් මෙම ස්ථානයේදීම පුපුරණ ද්‍රව්‍ය සමග උණ්ඩ කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබිණ.