බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන මඟින් සංවිධානය කර ඇති සිංහල සහ දෙමල අවුරුදු උත්සව මෙම සති අන්තයේ සිටම පැවැත්වෙයි.
ලබන සඳුදා එංගලන්තයේ නිවාඩු දිනයක් නිසා එදිනට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම අවුරුදු උත්සවයක් සංවිධානය කර ඇත. මීට අමතරව වසර තුනක නිහැඬියාවකින් පසුව කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින්ද මේ වසරේදී අවුරුදු උත්සවයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.
ලන්ඩන් නුවර සිංහල අවුරුදු උත්සවයක් මුල්වරට සංවිධානය කෙරුණේද කින්ග්ස්බරි පන්සල මඟිනි. ඉන් පසුව එම උත්සවය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය බවට පත්වන තරම් ජනප්‍රිය තාවයට පත් විය. අවසානයේ කින්ග්ස්බරි අවුරුදු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණෙන අති විශාල ජනකාය සඳහා ආරක්ෂා සහ ඉඩකඩ සැපයීමට හැකි ශාලාවක් කුලියට ගැනීමේදී දැරීමට සිදුවන අතිවිශාල වියදම නිසා එම උත්සවය නවතා දැමීමට සිදුවූ බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.
කෙසේවුවද බොහෝදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි විහාරස්ථ දායක සභාව සහ අනුග්‍රාහක බවතුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් යලිත් වරක් කින්ස්බරි බක්මහ උළෙල පෙර පරිද්දෙන්ම නැවත වතාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.
බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ බොහෝ සමිති සමාගම් මඟින්ද අප්‍රේල් මාසයේ සති අන්තයන්හිදී අවුරුදු උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.








