(විජේරත්න රත්නායක )
හාලිඇල පොලිස් බල ප්‍රදේශයට අයත් කැටවල ජඟුල්ල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරියක් කපා කොටා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇති මියගිය අයගේ පෙම්වතා බව කියන සැකකරු යළි ලබන 28දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවය කළ හාලිඇල ජගුල්ල අලුගස්හින්න යන ලිපිනයේ පදිංචිව සිටි චන්දිමා ප්‍රියදර්ශනී ගුණසේකර නමැති 23 හැවිරිදි තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාව මත මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වතු ක්ෂේත්‍ර නිලධාරියකු වන තුසිත නන්දන පෙරේරා නමැති පුද්ගලයෙකි.
හාලිඇල පොලීසිය මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර ඝාතනයට යොදාගත් පිහිය පිළිබඳව පරස්පර තොරතුරු ඇති බැවින් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක්
ලබාදෙන ලෙසත් අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා ලබාගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අදාළ නඩු භාණ්ඩ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා විත්තිකරුගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ සමාගමට නියෝගයක් ලබාදෙන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු දැක්වූ පොලිස් නිළධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩු භාණ්ඩ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා ලබාගැනීමටත් අදාළ සමාගමෙන් සැකකාර විත්තිකරුගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමටත් අවසර ලබාදුන් අතර සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට හාලිඇළ පොලිසියට අවසර ලබාදී සැකකරු ලබන 28 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.