කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් පින්නවල බැංකු ශාඛාවක් වසා දැමේ


 
(එම්.ආර්.ප්‍රියශාන්ත)
 
රඹුක්කන පින්නවල පිහිටුවා ඇති බැංකු ශාඛාවක කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් එම බැංකු ශාඛාව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
 
එම බැංකු ශාඛාවේ සේවකයකු අහඹු පී.සී.ආර් පරික්ෂණයකට පසුගිය 24 දින රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ලක් කර ඇති අතර ඊයේ දිනයේ එහි වාර්තා ලැබීමෙන් පසු කොවිඩ් ආසාදිතයෙකු ලෙස වාර්තා වී තිබිණිත ඒ අනුව, බැංකු ශාඛාව තවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ආසාදිත අය පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවකයින් පිරිස නිවෙස් නිරෝධානයට ලක් කර තිබේ.
 
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා දෙවනි රැල්ලේ ආසදිතයින් සංඛ්‍යාව 876 දක්වා වැඩි වී ඇති අතර 4867 ක් දිස්ත්‍රික්කය පුරා නිවෙස්වල නිරෝධානය වන බවද මේ වන විට කොරෝනා ආසදනයෙන් පුද්ගලයින්  3 දෙනෙකු මරණයට පත්වී ඇති බවද  වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
 
කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දෙහිඕවිට ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම ප්‍රදේශයෙන් පසුගිය පැය 24 තුල වාර්තා වු අසාදිතයින් 30 සමග මේ වන විට කොරෝනා ආසාදිතයින් 270 දක්වා වැඩි වී ඇති බව කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.
 
 
මේ අතර රඹුක්කන රෝහලේ පිහිටුවා කොරෝනා ප්‍රතිකාර ඒකකයේ  78 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා ගන්නා බව රඹුක්කන රෝහලේ දිස්ත්‍රික්  වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුමින්ද ගමගේ මහතා සඳහන් කලේය.
 
උදුගොඩ රෝහලේ ප්‍රතිකාර ඒකකයද මේ වන විට කොරෝනා ආසාදිතයින් 116 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර පින්නවල ඇගලුම් ආයතනයේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයෝ 256 දෙනෙක් ප්‍රතිකාර  ලබති.