කොල්ලෝ පැරකුම් රජ මාලිගාවට පනිති


පොළොන්නරුව පුරාවිද්‍යා පුද බිමේ පිහිටි  මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි ඉපැරණි බිත්ති මත විවිධ    අකුරු  ලියා කුරුටු ගා  ඇත.

 රජ මාලිගයෙහි ඇතුළත දකුණු  සහ උතුරු දිසාවන්හි    සෑම බිත්තියකම පාහේ මෙම අකුරු ලියා හා කුරුටු ගා   ඇත.

 මාලිගයෙහි බටහිර  දොරටුවට ආසන්නයෙහි  සංරක්ෂණය කරනලද බිත්ති මත සහ ඉපැරණි   බදාම තට්ටු මත ගල් පතුරුවලින් අකුරු ලියා ඇතැයි කියති.  පුරාවිද්‍යා ස්මාරකයෙහි  බිත්තිවලට හා එහි ඉපැරණි බවට විශාල වශයෙන්  හානි සිදුව තිබේ.

 මහා පරාක්‍රමබාහු  රජතුමාගේ රාජ මාලිගය (ක්‍රි.ව. 1125-1186) නැරැඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු  මහජනතාව මෙම විනාශයන් දැක ඉමහත්  කම්පාව පළ කරති.

 මහා පරාක්‍රමබාහු  රජු විසින්  කරවන ලදැයි සැලැකෙන වෛජයන්ත ප්‍රාසාදය හෙවත් ‘සත්බුමුපාය‘ නම් වූ මෙම විශිෂ්ට නිර්මාණය මහල්  සතකින් යුත් බවත් එය කාමර දහසකින් සමන්විත අලංකාර රාජ මාලිගයක් ලෙස පැවති බවත් වංශ කතාවල සදහන්වේ.

මහල් තුනක නටබුන් අද දැකිය හැකිය.

 මධ්‍යම සංස්කෘතික අරමුදලේ  පොළොන්නරුව කාර්යාල  නිලධාරියකු කියා සිටියේ  රාජ මාලිගාවෙහි බිත්ති මත අකුරු ලියා කුරුටු  ගා ඇති බව තමන් දන්නා බවයි.  පාසල් සිසුන් ඒ හානිය කරන්නට ඇතැයි ඔහු සැක කරයි.  ආරක්ෂක නිළධාරීන් එම  ස්ථානයේ  රාජකාරී කරන බව ද ඔහු පවසයි.

 රාජ මාලිගාවෙහි බිත්ති මත ලියා ඇති අකුරු ආදිය මකා දැමීම සදහා ඉදිරි දිනවල ක්‍රියා කරනා බවද එම නිලධාරියා කීය.