කොල්ලූපිටියේ විදුහලක සිසුහු 50 ක් බොරැල්ලේ බාලිකා විදුහලකට පැනලා


(ඉන්දිකා රාමනායක)

කොල්ලූපිටිය ප‍්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී  විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙහිදී විද්‍යාලයේ ගුරුවරුන් විසින් එක් සිසුවකු අල්ලා පොලිසිය වෙත බාර දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය..

පාසල් කි‍්‍රකට් සමය හේතුවෙන්  සිසුන් 200 දෙනකු පමණ ඊයේ පෙරවරු 11.00 පමණ කිංසි පාරේ පිහිටි මෙම බාලිකා විදුහල ඉදිරියට පැමිණ එම  විදුහලට ඉදිරිපිට සිට ඝෝෂාකාරී ලෙස හැසිරෙමින්  සිට ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සැලවී බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිසක් ගේට්ටුව  අසලට පැමිණ බැලීමේදී සිසුන් 50  දෙනකු පමණ එකවරම ගේට්ටුවට උඩින්  පාසලට කඩාවැදී ඇති බව පොලිසිය පවසයි.

 පාසලට බලෙන් ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් පිරිස ඉවත් කිරීමට එහි ගුරුවර ගුරුවරියන් සහ මුරකරු සුදානම් වු අවස්ථාව් සිසුන් ගුරුවරුන් දෙදෙනකුට  සහ මුරකරුට පහර දී ඇති බවද පොලිසිය කියයි.

මේ අවස්ථාවේ විදුහල්පතිනිය පොලිස් හදිසි ඇමැතුම් අංශයට(119) සිද්ධිය දැනුම් දීමෙන් පසු  පොලිසිය පාසලට පැමිණෙද්දී සිසුන් පිරිස පලාගොස් ඇත.

සිසුන්ගේ පහරදීමෙන් විද්‍යාලයේ මුර කුටියේ සහ ගොඩනැගිලි කිහිපයකට වීදුරුවලට අලාභහානි සිදුව ඇති බව ද පොලිසිය පවසයි.