(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වයිරසය වැළඳී මිය ගිය භාරකරුවෙකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් ,දින 25 ක් තිස්සේ , හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.
මේ හේතුවෙන් ශීතකරණ හයකින් යුක්ත මෘත ශරීරාගාරයේ දෛනිකව සිදුවන මෘත දේහ තැන්පත් කිරීමට පවා බාධා එල්ල වී ඇතැයි ද පැවසේ .
පෑලියගොඩ ප්‍රදේශයේ මහමග රෝගීව රැදී සිටි මෙම පුද්ගලයා ඉකුත් 05 දා සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කියයි .
පසුව සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 7 දා මෙසේ මියගොස් ආති බව පොලිසිය පවසයි .
ඒ අනුව මියගිය පුද්ගලයා ඉකුත් 07 දා සහ 12 දා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් කර ඇති අතර ඒ අවස්ථා දෙකේ දී ද ඔහුගේ සිරුරේ වෛරසය රැඳී තිබූ බවට තහවුරු වී ඇතැයි පැවසේ .
මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහුගේ අනන්‍යතාවය ඇතුළත් කිසිදු තොරතුරක් රෝහලට ලැබි නොතිබීම හේතුවෙන් මෘත දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකිරීමට බාධා එල්ලවීම නිසා දින 25ක් තිස්සේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පොලිසිය කියයි .
වයස අවුරුදු (62) පමණ වන මෙම පුද්ගලයාගේ ඇඳ ඉහපත් ලේඛනයේ යාචකයෙකු ලෙස සටහන්ව ඇති බවද කියයි.
මේ අනුව මෙම පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතා ඉක්මනින් සිදු කළ යුතු නිසා භාර කරුවෙකු වෙතොත් හැකි ඉක්මනින් හෝමාගම රෝහල් පොලීසිය අමතා තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

