(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් 2,587න් 2,433ක් මේ වනවිට පිරී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (21) පැවැසීය.
‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයිද ඉදිරියේදී තවත් රෝහල් ගණනාවක් ඒ සඳහා සූදානම් කරන්නේ යැයි ද හෙතෙම කීය.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම කරුණු සඳහන් කළේය.
‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහාම වෙන්වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයි ද එහි ධාරිතාව 2,587ක් බවත් ඉන් 2,433ක රෝගීන් ප්‍රතිකාර ලබන බව ද හෙතෙම පැවැසීය.
ඉදිරියේදී රෝගීන් වාර්තා වන ආකාරය අනුව එම රෝගීන් යොමු කිරීම සඳහා තවත් රෝහල් සහ ස්ථාන සූදානම් කරන බවත් ඔහු කීවේය.
අවසන් පැය 24 ඇතුළතදී පී.සී.ආර්. පරීක්ෂණ 8,270ක් කර ඇති බවත් හෙතෙම කීය.
පසුගිය සතියේදී ප්‍රජාවෙන් සාම්පල 30,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමාජ ව්‍යාප්තියක් නැති බව තහවුරු කළ හැක්කේ ඒ තුළින් බවත් ඔහු කීවේය. එම ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව ද හෙතෙම පැවැසීය.
වයිරස ආසාදිතයන්, ඔවුන්ගේ මුල් ආශ්‍රිතයන්, ආශ්‍රිතයන්ගෙන් හමුවන රෝගීන්ගේ මුල් ආශ්‍රිතයන්, දෙවැනි හා තුන්වැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගැනීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම, සහ නිරෝධායනයට යොමු කිරීම යනාදී ක්‍රියාවලිය නොකඩවා කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කීය.

