කොරියාවේ ඉන්න විදෙස් ශ්‍රමිකයන්ට මාස තුනක පොදු සමා කාලයක්


විනීතා එම් ගමගේ
 
කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයන්ට කිසිදු දඬුවමකට හෝ දඩයකට යටත් නොවී එරටින් පිටවීම සඳහා මාස තුනක පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත. 


ඉකුත් පළමු වැනිදා ආරම්භ වූ මෙම පොදු සමා කාලය 2019 මාර්තු 31 වැනි දා දක්වා බලපැවැත්වේ. 


කොරියාවේ නීත්‍යානුකූල නොවන අන්දමින් රැඳී සිට අසුවන්නන්ට නැවත කොරියාවට පැමිණීම වසර දහයකට තහනම් කරනු ලබන නමුත් දැනට නීත්‍යානුකූල නොවන අයුරින් රැඳී සිටින විදේශිකයින් මෙම කාලය තුළ ස්වේච්ඡාවෙන් රටින් පිටවන්නේ නම් ඔවුන් නීත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටි කාලය පිළිබඳව නොසළකා නැවත පැමිණීමේ තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන බව කොරියානු බලධාරින් නිවේදනය කර තිබේ.


තමගේ සුපුරුදු සේවා ස්ථානයට අමතරව තාවකාලිකව ඉදිකිරීම් කර්මාන්ත ආශ‍්‍රිතව සේවයේ යෙදීම නිත්‍යනුකූල නොවන හෙයින් එසේ සිදුකරන විදේශ ශ‍්‍රමිකයින් වෙතොත් නීත්‍යනුකූලව කොරියාව තුළ රැදී සිටීමට අවශ්‍ය කරන වලංගු වීසා සතුවුවද ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම රටින් පිටුවහල් කරනු ලබන බවත් මෙම කාලසීමාවේ දී රටින් පිටවන්නේ නම් මෙම අවදානම නැතිවනු ඇති බවත් එරට ආගමන විගමන සේවය නිවේදනය කර ඇතැයි තානාපති කාර්යාලය කියයි. 


කෙසේ වෙතත් පොදු සමාකාලය තුළ ස්වේච්ඡාවෙන් රටින් පිටනොවන විදේශිකයන් අත්අඩංගුවට ගෙන කඩිනමින් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ද ඔවුන්ට වසර 10 ක් කොරියාවට ඇතුළුවීම තහනම් බව ඒ ඒ විදේශීකයන්ගේ මව්රටවලට දැනුම් දෙන බව ද එම නිවේදනයේ සඳහන්ව ඇතැයි කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.