කොන්දොස්තර ආසාදිතයකු වීමෙන් පුත්තලම ලංගම ඩිපෝවෙ බස්රථ රැසක් ධාවනය නවතයි



 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
  
පුත්තලම ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු කොවිඩ් ආසාධිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග බස් රථ රැසක් ධාවනය නවතා දමා රියදුරු හා කොන්දොස්තරවරුන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද( 11) පැවසීය.
 
මෙසේ කොවිඩ් ආසාධිතයකු ලෙස හදුනාගෙන ඇත්තේ පුත්තලම ඩිපෝවේ මන්නාරම කොළඹ බස්රථයේ සේවය කරනු ලබන නිකවැරටිය මොන්නෑකුලම පදිංචිකරුවකු බව සෞඛ්‍ය අංශ පවසයි.
 
අදාල කොන්දොස්තරවරයා පසුගිය 6 දින මන්නාරම නගරයේ දී අහඹු ජෛව පටල සාම්පල පරීක්ෂාවකට ලක්වී ඇති අතර ඔහු කොවිඩ් ආසාධිතයකු බවට සෞඛ්‍ය අංශ සනාථ කර ඇත.මෙම ආසාධිත කොන්දොස්තරවරයා පුත්තලම ඩිපෝවේ 9 දින රාත්‍රියේ පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයට ද සහභාගි වී ඇත.
 
මේ අනුව එදින ඩිපෝවේ මෙම කොන්දස්තරවරයා ඇසුරු කළ රියදුරන් හා කොන්දොස්තර වරුන් අද(11) උදෑසන සිට රාජකාරියට පැමිණීම නවතා ඔවුන් සේවය කළ බස් රථ 15 කට ආසන්න සංඛ්‍යාවක් මගී ප්‍රවාහනය නවතා  සෞඛ්‍ය නීති රීති අනුව ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම ඩිපෝ අධිකාරි එච්.එම් .සී.එච් .අබේසිංහ මහතා පවසයි.
 
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් .සුරේෂ් මහතා පවසා සිටියේ මෙම කොන්දොස්තර වරයා ඇසුරු කළ තවත් පිරිස් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් දැනට ආරක්ෂිත පියවරක් ලෙස ඩිපෝවේ සියලු දෙනා අ ද දහවල් ජෛව පටල සාම්පල ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.