(ප්‍රංශ පුවත් සේවයෙනි)
සෝමාලියානු කොල්ලකරුවන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා ජාතිකයින් 08 දෙනා සමග ඊයේ රාත්‍රියේදී මුදා හැර ඇතැයි රාජ්‍ය නොවන සංවිධානයක් වන ඕෂන්ස් බියොන්ඩ් පයිරසි සංවිධානය ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.
“ඔවුන් (කොල්ලකරුවන්) ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් කරලා අවසානයේ නැව අතහැර ගියා“ යැයි එම ඕෂන්ස් බියොන්ඩ් පයිරසි සංවිධානය සමග වසර ගණනාවක් කටයුතු කළ හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වන ජෝන් ස්ටීඩ් මහතා පැවසීය.
ජෝන් ස්ටීඩ් මහතා වසර ගණනාවක සිට සෝමාලියා කොල්ලකරුවන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටි නිලධාරියෙකි. පන්ට්ලන්ඩ් වෙරළාක්ෂක පොලිසිය විසින් පසුව නෞකාව මුදාගනු ලැබ ඇත.
නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් අකමැති නම් බලය භාවිත කිරීමට සිදුවෙන බව පන්ට්ලන්ඩ් වෙරළාරක්ෂක අධිකාරිය මීට පෙර අනතුරු අඟවා තිබිණි.
ඩිජිබෞටි සිට මොගදිසු දක්වා ගමන් ගමින් සිටියදී Aris 13 නම් නෞකාව කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලදි. මෙය 2012න් පසු පැහැරගැනිමට ලක්වූ විශාලතම වාණිජ නෞකාව යි.
මෙම නෞකාව මේ වන විට වෙරළාරක්ෂක නිලධාරීන් යටතේ පවතින බවත් එය පුන්ට්ලන්ඩ් හි බොස්සැසෝ වරාය වෙත ගමන් කරමින් සිටින බවත් ස්ටීඩ් මහතා පැවසීය.නමුත් නෞකාව මුදාහැරීම පිළිබඳ වැඩි විස්තර ඔහු ප්‍රකාශයට පත් නොකළේය.
මෙම කොල්ලකරුවන් සමග සාකච්ඡා කිරීමට නම් හෙළි නොකළ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයකු පත් කර ඇතැයි වෙරළාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ අබ්දිරහමාන් මොහමුඩ් හසන් මහතා මීට පෙර දී ප්‍රකාශ කළේය.
පැහැරගත් නෞකාවට ආහාර රැගෙන යමින් සිටි බවට සැක කෙරෙන බෝට්ටුවක සිටි ආයුධ සම්පන්න පිරිසක් හා වෙරළාරක්ෂක නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ඉන්පසුව මෙම මුදාගැනීම සිදු විය.
“අපි සාමාන්‍ය ආකාරයෙන් මුර සේවාවල යෙදී සිටියදී එම බෝට්ටුවේ සිටි පිරිස වෙඩි ප්‍රහාර එල්ල කළා .ඉන්පසුව අප ප්‍රතිප්‍රහාර එල්ල කළා“යැයි හසන් මහතා පැවසීය.
වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ ප්‍රමාණය නොදන්නා බව ස්ටීඩ් මහතා පැවසීය. පැහැරගැනීමට ලක් වූ අවස්ථාවේ දී කොල්ලකරුවන් විසින් එම නෞකාවේ ගමන් මග වෙනස් කර පන්ට්ලන්ඩ් දෙසට ගමන් කරන ලෙස අණ කර ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
නෞකාව පැහැරගැනීමට ලක් වෙන විට සෝමාලියා වෙරළට කිලෝමීටර් 18ක් දුරින් ගමන් කරමින් සිට ඇත.
ඔහු පැවසුවේ එම නෞකාව මුහුදු කොල්ලකෑම් වලට ඔරොත්තු දීමට හැකි ‘උපරිම උපක්‍රම‘ භාවිත කර නැති බවයි.එය පිරිවැය හා කාලය ඉතුරු කරගැනීමට හැකි පරිදි සෝමාලියා වෙරළට ආසන්න මාර්ගයක ගමන් කර ඇතැයි ද ආයුධ රහිතව ඉතා සෙමින් ගමන් කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
නෞකාව ප්‍රථමයෙන්ම නැංගුරම් ලා තිබු අලුලා ප්‍රදේශයේ ගම්වාසින් පැවසුවේ කොල්ලකරුවන් පැහැදිලි ඉල්ලීමක් කර නැති බවත් ඔවුන් නීතීවිරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් කෝපයෙන් සිටින බවත් ය.
“මෙම කොල්ලකරුවන් නීතිවිරෝධී මසුන් මැරීම ගැන කෝපයෙන් සිටි ධීවරයින් පිරිසක්. ඔවුන්ගේ මැසිවිලි පෙන්වීමට මෙම නෞකාව පැහැරගන්න ඇති කියල අපි සිතනවා“යැයි එහි ගම්වාසියකු වන අබ්දිවාහබ් අහමඩ් මහතා කීවේය.
ජාත්‍යන්තර නාවික මාර්ගය අවහිර කරමින් සෝමාලියානු කොල්ලකරුවෝ 2005 දී නැව් පැහැරගැනීමට ප්‍රහාර රැල්ලක් එල්ල කළහ.ඉන් ගෝලීය ආර්ථිකයේ ඩොලර් බිලියන ගණනකට පාඩු සිදු විය.
මුහුදු කොල්ලකැම් අර්බුදය උච්චතම වූ 2011 ජනවාරි මාසයේ දී ප්‍රාණ ඇපකරුවන් 736 ක් හා බෝට්ටු 32ක් මුහුදු කොල්ලකරුවන් විසින් රඳවා තබා ගැනිණි.
මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් නිසා වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර නැවතුන ද ධීවර බෝට්ටුවලට එල්ල වූ ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක විය. නෞකාවල ආරක්ෂිත පියවර ගැනීම මූලික අවශ්‍යතාවක් කිරීම හා සෝමාලියා ප්‍රදේශයේ නාවික හමුදා යෙදවීම වැනි ක්‍රියාමාර්ග රැසක් ජාත්‍යන්තර ප්‍රජාව ගත් බව ද ස්ටීඩ් මහතා පැවසීය.
“කොල්ලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගත්තා.අනෙක් කොල්ලකරුවන් කොල්ලකෑම් නවතා දැමුවා.වාණිජ නෞකාවකට වසර පහක් යනකම් ප්‍රහාරයක් එල්ල වූණේ නැහැ.“ ඒ මහතා කීවේය.
“නමුත් මෙහි නියම හේතුව සාකච්ඡාවට ලක් වෙලා නැහැ.හේතුව තමයි දුප්පත්කම හා මෙම ප්‍රදේශයේ ඇති විරැකියාව.ඒ වගේම මේ ප්‍රදේශයේ නියඟයක් තියෙනවා.ඒ නිසා ආහාර හා වතුර නැහැ.“ස්ටීඩ් මහතා ප්‍රකාශ කළේය.
-042

