කොදෙව් පිල කඩුලූ 6 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරයි


බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි ‘සබීනා’ ක‍්‍රීඩාංගණයේ ඊයේ (28) පැවැති තරගයෙන් කොදෙව් පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය.

කොදෙව් පිතිකරුවෝ ලකුණු 209 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 37.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ක‍්‍රිස් ගේල් සිය සුපුරුදු පිතිහරඹයට අවතීර්ණ වෙමින් පන්දු 100 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 109 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරීමට සමත් විය. 

කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

උපුල් තරංග (25) සහ මහේල ජයවර්ධන (52) පළමු කඩුල්ල සඳහා ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා යෑමට නොහැකි විය. මහේල ජයවර්ධන පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.

ඇන්ජලෝ  මැතිව්ස් ලකුණු 7 ක් ලබා සිටියදී දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක‍්‍රිස් ගේල් අතට ලබාදුන් පහසු උඩ පන්දුව රැකගත්තේ නම් ශ‍්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස්වීමට ද ඉඩ තිබුණි.

සුනිල් නරේන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ කුසල් ජනිත් අසාර්ථක වීම නිසා කණ්ඩායමේ ස්ථානය අමිවිය.

ආබාධයකට ලක්වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ආරම්භක පිතිකරු ස්ථානයට මහේල ජයවර්ධන පැමිණි අතර ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි නොවු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබිණි. 

තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (30) පැවැත්වේ.  

 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම

උපුල් තරංග - ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    25
මහේල ජයවර්ධන - ඇ. රැම්ඞීන් ප. නරේන්    52
කුමාර් සංගක්කාර - ඇ. පොලාඞ් ප. නරේන්    17
දිනේෂ් චන්දිමාල් - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. සැමුවෙල්ස්    21
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී    55
ළහිරු තිරිමාන්න - ඇ. චාල්ස් ප. රාම්පෝල්    6
නුවන් කුලසේකර - ඇ. පොලාඞ් ප. රාම්පෝල්    2
ජීවන් මෙන්ඩිස් - ඇ. සැමුවෙල්ස් ප. නරේන්    5
රංගන හේරත් - ඇ. සැමුවෙල්ස් ප. රාම්පෝල්    4
ලසිත් මාලිංග - ක.මු.ක ප. නරේන්    8
අජන්ත මෙන්ඩිස් - ඇ. චාල්ස් ප. ඞ්වේන් බ‍්‍රාවෝ    2
අතිරේක             11
එකතුව  ඕවර 48.3 කදී සියළු දෙනා දැවී    208

කඩුලු වැටීම:  
1-62, 2-85, 3-104, 4-140, 5-151, 6-159, 7-176, 8-190, 9-205, 10-208

පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-1-41-0, රවී රාම්පෝල් : 10-0-38-3, ඩැරන් සැමී : 10-0-34-0, ඞ්වේන් බ‍්‍රාවෝ : 7.3-0-37-2, සුනිල් නරේන්  : 10-0-40-4, මාලන් සැමුවෙල්ස් : 4-0-11-1

 

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම

ක‍්‍රිස් ගේල් - ඇ. චන්දිමාල් ප. අජන්ත මෙන්ඩිස්    109
ජොන්සන් චාල්ස් - ඇ. ජයවර්ධන ප. හේරත්    29
ඩැරන් බ‍්‍රාවෝ - දුවද්දී දැවී ගියා    27
මාලන් සැමුවෙල්ස් - නොදැවී    15
කරන් පොලාඞ් - ක.මු.ක ප. කුලසේකර    0
ඞ්වේන් බ‍්‍රාවෝ - නොදැවී    8
අතිරේක             21
එකතුව  ඕවර 37.5 කදී කඩුලූ 4ක් දැවී    209

කඩුලු වැටීම:  
1-115, 2-181, 3-190, 4-193

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:  
ඩිනේෂ් රැම්ඞීන්, සුනිල් නරේන්, රවී රාම්පෝල්, කෙමාර් රෝචි, ඩැරන් සැමී

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 7-0-34-0, නුවන් කුලසේකර : 8-1-39-1, අජන්ත මෙන්ඩිස් : 10-0-53-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-0-28-0, රංගන හේරත් : 6-0-37-1, ජීවන් මෙන්ඩිස් : 1.5-1-7-0

 

ක‍්‍රිස් ගේල්

 

 

 

 

 

 

 

 

 

 

 

ඇන්ජලෝ මැතිව්ස්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහේල ජයවර්ධන