කොටියාට කැනඩා යුද තාක්ෂණය දුන් බව පිළිගනී


කැනඩා යුද හමුදාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් දුන්නැයි කියන සුරේෂ් ශ්‍රී ස්කන්ධරාජා (32) නම් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෘක් ලිඩ් උසාවියකදී   වරද පිළිගත් බව කැනඩාවේ නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.

ඔහුට අවුරුදු 15 දක්වා සිර දඩුවම් නියම කිරීමට ඉඩ ඇතැයි කැනඩා ආරංචි කියයි.

ස්කන්ධරාජා කැනඩාවේ ඔන්ටේරියෝ නුවර වෝටලු සරසවියේ උපාධිධරයෙකි.

කොටි සංවිධානයට ගුවන් යානා උපකරණ, සබ්මැරීන් හා යුද නැව් නිර්මාණය කිරීමේ මෘදුකාංග, අදුරේදී ආලෝකය ලබා ගැනීමේ උපකරණ හා තාක්ෂණික උපකරණ දෙමළ කොටියනට සැපයීයැමට කුමන්ත්‍රණය කළැයි ස්කන්ධරාජා හා තවත් සම කුමන්ත්‍රණ කරුවන් පිරිසකට එරෙහිව ඇමැරිකා නීතිපති නඩු පවරා ඇත.

සැකකරුවෝ හය දෙනෙක් දැනටම වැරදිකරුවෝ වී සිටිතියි ඇමෙරිකා නීතිපති කාර්යාලයය කියයි.

2004 සැප්තැම්බර හා 2006 අප්‍රේල් කාලය තුළදී  මේ උපකරණ හා තාක්ෂණය කොටි පාලන ප්‍රදේශයට හොරෙන් ගෙන යෑමට ස්කන්ධරාජා ශිෂ්‍යයන් යොදවා ගත් බව පැමිණිල්ලෙන් කියැවිනි.

වෝටලූ සරසවියේ විදුලි ඉංජිනේරුවරයකු වූ ස්කන්ධරාජා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇමෙරිකා ෆෙඩරල් පොලිසිය හා කැනඩා පොලිසිය ඒකාබද්ධව ක්‍රියා කිරීමෙනි.

ඇමෙරිකා නීතිපති ලොරේටා ලින්ච් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ නවීනතම යුද තාක්ෂණය සහ උපකරණ කුරිරු කොටි සංවිධානයට ලබා දීමට වගඋත්තර කරුවන් ක්‍රියා කර ඇති බවයි.

නිදහස් සටන්කාමී ලෙස පෙනී සිටිමින් ඔවුන් ත්‍රස්තවාදී අරමුණුවලට එරෙහි පිරිස් මරා දමමින් ශ්‍රී ලංකාව ලේවලින් නාවා මිනිසුන් අතර බිය ඇති කළ බව ද ලිනිච්ගේ ප්‍රකාශයේ දැක්වේ.

අපරාධ ක්‍රියා මගින් සොයා ගත් මුදල් කොටි සංවිධානයට බැර කිරීමට ස්කන්ධරාජා උදව් කළ බව ද පැමිණිල්ලේ දැක්වේය.

උතුරේ සිට කැනඩාවට පැමිණි ස්කන්ධරාජා 2006 දී අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස නියම කැරිණි.

ඔහු රටින් පිටුවහල් කිරීමට ගත් තීරණයට එරෙහිව වසර හයක් තිස්සේ කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය ස්කන්ධරාජාගේ ඇපෑල 2012 දෙසැම්බරයේදී ඉවත දැමිනි.

ඉන් පසු ඔහුට එරෙහි නඩුවට මුහුණ දීම සඳහා ඇමෙරිකාවට භාර දෙනු ලැබීය.

ඒ කාලය අතරතුර ඔහු යිල් ෆ්‍රිඩ් ලොරියර් සරසවියේ එම්.බී.ඒ උපාධිය දිනා ගත්තේය. උපදේශකයකු ලෙස රැකියාව කරන ගමන් ආචාර්ය උපාධියට ද සූදානම් වෙමින් සිටියේය.

පිරදීපන් නඩරාජා නැමැත්තෙක් ද කැනඩාවේ සිට ශ්‍රී ස්කන්කන්ධරාජා සමග රටින් පිටුවහල් කැරිණි. ඔහුට එරෙහි චෝදනාව වූයේ ගුවන් යානා නාෂක මිසයිල තාක්ෂණය කොටි සංවිධානයට ලබා දීමට උත්සාහ කිරීමයි. ගුවන් යානයේ උෂ්ණත්වය සොයා යන මිසයිල තාක්ෂණය ලබා ගැනීමට ඔහු උත්සාහ කළ බවත්, ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 132 ) අධි බලැති යුද උපකරණ දෙමළ කොටි සංවිධානයට ලබා දීම සඳහා ඔහු ඇමෙරිකා ෆෙඩරල් පොලිසියේ නියෝජිතයකු සමග සාකච්ඡා කළ බව ද    නඩුවේදී සඳහන් විය.

ඔහු එසේ කර ඇත්තේ තම ගනුදෙනුකරුවා ඇමෙරිකා පොලිසියේ පොලිස් නිලධාරියකු බව නොදැනය.

ඔහු කැනඩාවෙන් ඇමෙරිකාවට පිටුවහල් කිරීමෙන් පසුව චෝදනාවට නිවැරදි කරු බව පැවසීයැයි මාධ්‍ය වාර්තා කියයි.