
තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යළි පණ ගැන්වීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අඟහරුවාදා පූනමලේ විශේෂ අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කළේය.
චෙන්නායි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ලෙච්චුමනන් මේරි ෆ්‍රැන්සිස්කා,කෙනින්ස්ටන් ප්‍රනාන්දු,33 හැවිරිදි ජොන්සන් සැමුවෙල්,40 හැවිරිදි ජී ධර්මේන්ද්‍රන්,64 හැවිරිදි ඊ.මොහාන් සහ තූත්තුකුඩි ප්‍රදේශයේ 33 හැවිරිදි කේ බාස්කරන් එම සැකකරුවන් වේ.
වංචා කිරීමට ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම,ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කරමින් ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම,අක්‍රිය ගිණුම්වල මුදල් භාවිතා කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත පණ ගැන්වීමට නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනා වේ.
මේරි ෆ්‍රැන්සිස්කා, කෙනිස්ටන් ප්‍රනාන්දු සහ බාස්කරන් යන අය ව්‍යාජ ලෙස සකස් කළ ඉන්දීය හැඳුනුම්පත් මඟින් අක්‍රීය බැංකු ගිණුම්වල මුදල් ලබාගනිමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය අලුත් මුහුණුවරකින් නැවත ආරම්භ කිරීමට උත්සහ දරා ඇතැයි ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සියේ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
ව්‍යාජ ලේඛන සැකසීමට ජොන්සන් සැමුවෙල්, ධර්මේන්ද්‍රන් සහ මොහාන් ඔවුන්ට අනුබල දුන් බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.
(ද හින්දු පුවත් පත ඇසුරෙන් ) (034)

