කැනඩාවේ සිට කොටි සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පුද්ගලයකු එරටින් පිටුවහල් කිරීමට කැනඩා ෆෙඩරල් අධිකරණය තීන්දු කර ඇතැයි කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි පවසයි.
කැනඩා පුරවැසිභාවය හිමි මාණික්කවාසගම් සුරේෂ් නැමැත්තා එසේ පිටුවහල් කර තිබේ.
ශ්‍රී ලංකාවේ එවකට පැවති යුද ගැටුම් හේතුවෙන් 1990 දී කැනඩාවට පළා ආ මොහු පසු කාලීනව කැනඩාවේ ලෝක දෙමළ සංවිධානයේ සම සම්බන්ධීකාරකවරයා වශයෙන් හිඳිමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීමේ කටයුතු වල නිරතවීමේ චෝදනා යටතේ 1995 වසරේදී කැනඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
චූදිත දෙමළ ජාතිකයාට එරෙහිව කැනඩාවේ අපරාධ අධිකරණය හමුවේ 2015 වසරේදී පැවති නඩු විභාගයකදී එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහු කැනඩාවෙන් පිටුවහල් කරන ලෙසට නියෝග කෙරිණ. පසුව එම තීන්දුවට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර තිබිණි.

