කොටි සිරකරුවන්ට ඇමැතිගෙන් දීපවාලි තෑග්ගක්


එල්.ටී.ටී.ඊ.සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින පුද්ගලයන් නොවැම්බර් මස 10 වැනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි  ඉක්මනින් පියවර ගන්නා බවට නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන යාපනයේදී සිය විශ්වාසය පළකරමින් කියා සිටියේය.

නවීකරණය කරන ලද යාපනය පන්නෙයි කලපුව ආසන්නයේ ඉදිවුණු බන්ධනාගාරය විවෘත කරමින් ඇමැති එසේ කීවේය.

මේ අනුව යාපනය නගරයේ 1976 ඉදිකළ පැරණි බන්ධනාගාරයේ සිටි රැඳවියෝ රුපියල් මිලියන 275 ක මුදලකින්  නවීකරණය කළ නව බන්ධනාගාරයට මාරු කරනු ලැබූහ.

‘ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැනට සිරකරුවන් 18000 ක් පමණ සිටිනවා. නමුත් මේ සිරකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාර ගත නොවිය යුතු අයයි.ඔවුන් බන්ධනාගාර ගත වී ඇත්තේ සුළු වැරැදිවලට නැත්නම් ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා. දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා‘ යනුවෙන් අමාත්‍යවරයා කීවේය.

ඔවුන් බන්ධනාගාර ගත වී ඇත්තේ සුළු වැරැදිවලට නැත්නම් ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා. දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා‘

පොලීසිය සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමට ඉතා විශාල කාලයක් ගන්නා බවද, පවරණ ලද නඩුව විභාග කිරීමට වසර 10 ක් 15 ක් වැනි කාලයක් වැය කරන බවද කී අමාත්‍යවරයා එය එසේ වනවිට සැකකරුවන් පමණක් නොව විනිසුරුවරුන්ටද, නීතීඥයින්ටද නඩු එපාවන තත්ත්වයක් උද්ගත වන්නේ යැයිද ඇමැති කීවේය.

මේ තත්ත්වය විහිලුවක් බැවින් ඊට ගැලපෙන නව ක්‍රමයක් සකස් විය යුතු බවත් එමගින් තමාගේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සිරකරුවන්ගේ පිරිසෙන් 25 % ක්  අඩුකිරීමට බවත් මාරපන අමාත්‍යවරයා කියා සිටියේය.

‘යුද්ධය අවසන් වී ඇති අවස්ථාවක බන්ධනාගාරගතව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නඩු නොමැතිව සැක සහිතව ඉන්නවනම් අපි ඒ අය නිදහස් කරන්න ඕනෑ. මේ අයගෙන් විශාල තර්ජනයක් තියනව කියනවනම් අපට පුළුවන් මේ අයට කොන්දේසි පනවලා නිදහස් කරන්න.

ඒ වගේම අවුරුදු ගාණක් නඩු දාල අහගන්න බැරුව හිරවී තිබේනම්  අපිට ඒ අයට ඇප ලබා දෙන්න පුළුවන්.  මේ ගැන ජනාධිපති, අගමැති හා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීල තියෙන්නේ ඉක්මන් පියවරක් ගන්න කියලා‘ යැයිද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

Tilak_201511101-(1) Tilak_201511101-(2)

Tilak_201511101-(3)