කොටි ලකුණ ඉරණතිව් මුහුදෙන් මතුවෙයි


කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් වසර පහළොවකට ‍පසු අද පෙරවරු 11.30ට පමණ නාවික හමුදාවට අයත් නැවක දොඹකරයකින් ගොඩ ගනු ලැබීය.

කාර්ය මණ්ඩලය ද, රුසියා ජාතික ගුවන් නියමුවන් හතර දෙනාද  ඇතුළු 61 දෙනෙක් මේ අනතුරින් මරුමුවට පත් වූහ.

ගුවන් යානයේ එන්ජිම, මෝටරය, ඉදිරිපස කොටස ඇතුළු කොටස් කිහිපයක් එලෙස ගොඩ ගත් අතර මුහුදේ රළු බව නිසා ඉතිරි කොටස් ගොඩ ගැනීම අපහසු වී ඇතැයි නාවුක හමුදා ආරංචි කියයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහත්වරු ඇතුළු පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ 250ක් පමණ එම ස්ථානයට පැමිණ සිටිති.

ගොඩ ගත් කොටස් පරීක්ෂා කිරීමට කිලිනොච්චිය දිසා විනිසුරු එම් වයි මහබ්දීන් මහතා පැමිණීමට නියමිතය.