‘කොටි බැංකුවල‘ හා උකස් මධ්‍යස්ථානවල උකස් භාණ්ඩ තබා තිබියදී යුද්ධයෙන් පසු හමුදාව භාරයට ගත් රන් භාණ්ඩ අතරින් හඳුනාගත් අයිතිකරුවන් 1960 දෙනකුට අයත් රන් බඩු නැවත ලබා දීමට නියමිත බව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පැවසීය.
මෙම රන් භාණ්ඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන මස 04 දින අරලියගහ මන්දිරයේදී හිමිකරුවන්ට බාර දෙන බව කොල්ලුපිටිය ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකදී හමුදාපති පැවසීය.
මෙතෙක් කාලයක් මෙම භාණ්ඩ බෙදා දීමට ප්‍රමාද වුයේ මෙම පිරිස සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවත් නැවත පදිංචි කිරීමෙන් පසු හමුදාව නිවෙසක් නිවෙසක් ගානේ ගොස් ඔවුන් පිළිබදව තොරතුරු සොයා ලබා නිවැරැදි හිමිකරුවන් සොයා ගැනීම හේතුවෙන් බවද හමුදාපතිවරයා කීය.
යුද්ධය නිම වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. බැංකුවල හා උකස් මධ්‍යස්ථානවල තිබූ පුද්ගලයින් 2379 දෙනෙකුට අයත් රන් භාණ්ඩ හමුදාව භාරයට ගත් බවත් ඉන 1960 දෙනෙකුගේ රන් භාණ්ඩ හමුදාව විසින් දැනට හඳුනාගෙන තිබු බවද පැවසේ.
මෙම රන් භාණ්ඩ අතරින් ඇතැම් රන් භාණ්ඩ හඳුනා ගැනීම පහසු ආකාරයෙන් ඔවුන්ගේ නම් ලිපිනය සහිතව පාර්සල් කොට තිබී ඇති අතර ඇතැම් ඒවා හදුනා ගැනීමට නොහැකි ආකාරයේ කිසිදු සටහනක් දමා නොතිබූ බවද පැවසේ.
එලෙස හඳුනාගත් 1960 දෙනෙකු වෙත ඔවුන්ගේ රන් භාණ්ඩ නැවත භාර දෙන අතර ඔවුන් අතරින් කිලිනොච්චියේ පුද්ගලයින් 1187 දෙනෙකුට ද, වව්නියාවේ 319 දෙනෙකුට ද, මන්නාරම ප්‍රදේශයෙන් 223 දෙනෙකුට ද, මුලතිව් ප්‍රදේශයෙන් 187 දෙනෙකුට ද, යාපනය ප්‍රදේශයෙන් 45 දෙනෙකුටද රන් භාණ්ඩ හිමිවේ.

