එල්.ටී.ටී.ඊ සංවිධානයේ රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ “පෝර්කලත්ති ඔරු පූ” චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් කර තිබේ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ. ගනේෂන් විසින් ඊට අදාළ අනුමැතිය ඉල්ලා සිටියත් ඉන්දීය චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය එය ප්‍රතික්ෂේප කර ඇතැයි එරට පළවන හින්දු පුවත්පත කියයි.
ඉසිප්‍රියා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් බහුල අවධියේ ඔවුන් විසින් පවත්වාගෙන ගිය බව කියන රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක ලෙස සේවය කළ අතර 2009 අවසන් සටනේදී ඇය මියගොස් තිබිණ.ඇයගේ ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කළ බව එහි අධ්‍යක්ෂ කේ. ගනේෂන් පවසා තිබේ.එහෙත් එය ඉන්දියාව තුළ හැර වෙනත් ඕනෑම රටක කිසිදු කොටසක් ඉවත් නොකර ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.
මීට විරෝධය පළ කරන කේ. ගනේෂන් පවසන්නේ අසල්වැසි ශ්‍රී ලංකාව මිත්‍ර රටක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? යන ලෙසයි.
යුද්ධයේදී සිදුවූ අමානුෂික ඝාතන ගැන චිත්‍රපටියකින් විවේචනය කිරීමට පවා ඇති අයිතිය අහිමි කර ඇති බවත්, මීට පෙර තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාව මිත්‍ර රටක් නොවන බවට යෝජනාවක් සම්මත කර ඇත්තේද මෙවන් හේතු මත බව, ඔහු පෙන්වාදී තිබේ.
ඉසිප්‍රියා සම්බන්ධ චිත්‍රපටය පමණක් නොව යුද ගැටුම් අලලා නිර්මාණය කළ චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය තහනම් කෙරුණු අතර එහි උණුසුම් කතා බහ මතු වූයේ චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කළ නෝ ෆයර් සෝන් චිත්‍රපටයට අදාළවය.
කෙසේ වුවද මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් ඉන්දීය චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය පවසා ඇත්තේ අසල්වැසි රට සමග පවත්නා මිත්‍ර සබඳතා පළුදුවිය හැකි ක්‍රියාවකට අවසර දිය නොහැකි බවයි.චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වන සිනමා පනතේ නීතිවලට යටත්ව එයට අවසර දිය නොහැකි බව එම මණ්ඩලය පවසා ඇති බව ඉන්දීය හින්දු පුවත්පතේ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

