ශානිකා සුමනසේකර පුරා වසර පහළොවක් පුරා ගීත හැටකට අධික සංඛ්‍යාවක් ගායනා කළ ගායිකාවකි. එවැනි අනවරත ගමනක නිරත ඇගේ නවතම ගීත සමගින් ‘සාරවිට’ පැවසුවේ මෙවැන්නක්.
“මෑතකදී මම ගීත දෙකක් නිර්මාණය කළා. පළමුවැන්න තමයි නයනසේන වන්නිනායක පදරචකයා විසින් නිර්මාණය කළ ගීතයක්. ‘රාත්‍රිය නුඹ ළඟ තියා’ තමයි එම ගීතය.
රාත්‍රිය නුඹ ළඟ තියා..
වසන්තය කඳුළින් ලියා......
නුඹේ සුවිසල් ප්‍රේමයේ අහසේ .....
පුරහඳක් වී දිලෙන්නට පෙර
නුඹේ අහසින් බැස ගියා
මා.. නුඹේ අහසින් බැස ගියා..
අහස සඳ තරු විමානේ....
පෙම් පහස විඳිනා සුයාමේ....
අසනි වැස්සක් නුඹට දී ..
මා.. නුඹේ අහසින් බැස ගියා
නුඹේ අහසින් බැස ගියා...
ලියූ පෙම් ගී ඉකිගසා .....
යළි ඉන්න කිව්වත් නැවතිලා
යන්න නියමිත වූ නිසා ..
මා නුඹේ අහසින් බැස ගියා
මේ කාලෙ විරහ ගීත කියන්නෙ මහා උස් හඬින් අඬන අඳෝනාවක්. සමහරු හිතන් ඉන්නෙ විරහවක් වුණාම උස් හඬින් කෑගහල අඬන්න ඕනෙ කියලයි. අපට මේ ගීතයට අවශ්‍ය වුණා උස් හඬ වෙනුවට හැඟීම් දනවන්න මන්ද්‍ර ස්වර භාවිත කරන්න. පහළ ස්වර යොදාගෙන විරහව දනවන්නෙ කොහොමද කියන කාරණය තමයි මේ ගීතයෙන් උත්සාහ කළේ. අපි හර්ෂණ දිසානායකත් එක්ක කතා කරලා විශේෂිත වූ සංගීතයක් යොදාගත්තා. ගීතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැනෙනවා මේක සාර්ථක ගීතයක් කියා. එයට රූපරචනයකුත් සිදුකළා. එයට අන්තර්ජාලයේ විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
අනිත් ගීතය ලිව්වේ නන්දසේන කීඹියහෙට්ටි කියන රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයා විසිනුයි. එතුමා ගීත කිහිපයක් රචනා කොට තිබෙනවා. එමෙන්ම ඔහුගේ ‘කින්නරාවි’ නමින් රසවින්දන වැඩසටහනකුත් තිබෙනවා. ඊට අමතරව ‘කින්නරාවි’ නමින් කෘතියකුත් එළිදක්වා තිබෙනවා. ඇත්තටම ‘රාත්‍රිය නුඹ නම්’ ගීතය දැකලයි ඔහු මාව හඳුනාගන්නෙ. එතුමා ගීත කිහිපයක් යොමුකරල අවසානයේ එක් ගීතයක් තෝරගත්තා කරමු කියා. එය තමයි ‘දිසාපාමොක් ඇදුරුතුමනි’ ගීතය.
දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පලඳන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොලු තැන් - තිබෙන කඩතොලු තැන්
උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොළ ඇතුළේ පහන් සොරකම්
කරනබව දෙවියන් - දේවතා එළියෙන්
ඒ විදියට තමයි ගීතය නිර්මාණය වුණේ. මේ සිදුවීම විශ්වවිද්‍යාලවල තිබුණට ඒවා සැඟවුණු සිදුවීම් ලෙසටයි තිබෙන්නෙ. හුඟ දෙනෙක් ඒ ගැන කතා කරන්න බයයි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් ඒ ගැන ලියන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ. සුලබ මාතෘකාවක් නෙවෙයි. දුලභ මාතෘකාවක්. එය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. සමහර වෙලාවට සමාජයේ සැඟවුණු අඳුරු පැත්තක් තමයි මෙමගින් නිරාවරණය කරන්නෙ. අවසන් දවස් පහ හය ඇතුළත පනස්දහසකට අධික පිරිසක් මෙම ගීතය නරඹා තිබෙනවා. මෙහි සංගීතය සහ පද රචනය මෙන්ම ගායනයටත් ඔවුන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මාව මෙම ගීතයෙන් සෑහෙන දුරකට ඔසවා තබාවි කියා හිතෙනවා.
ගීත කලාවේ දැන් තත්ත්වය
ගුවන් විදුලි නාළිකාවල තත්ත්වය තවම වෙනස් වෙලා නෑ. ගුවන් විදුලි නාළිකාවල තවමත් සුභාවිත ගීත ප්‍රචාරය වෙන්නෙ නෑ. රංගිරි වගේ වැඩසටහන්වලින් තමයි මගේ ගීත ප්‍රචාරය වෙන්නෙ. රජයේ නාළිකාවලට වගකීමක් තිබෙනවා රාජ්‍ය සම්මානලාභී ගීතවලට ඉඩක් ලබාදෙන්න. මට ප්‍රශස්තම ගායනය (ගැහැනු නවක) රාජ්‍ය සම්මානය හිමිවුණේ 2015 දී. 2016 දී ප්‍රශස්ත ගායනය ප්‍රවීණ යන සම්මානයට මා නිර්දේශ වුණා. සම්මාන උලෙළක් පැවැත්වීම නිසා එෆ්.එම්. නාළිකාවලින් නෑසෙන ගීතයක් ප්‍රචාරය වුණාම මේ ගීතය මොකක්ද කියා සොයනවා. නමුත් සම්මානයක් ගත්තත් ගුවන් විදුලි නාලිකාවලට තඹයකවත් ගාණක් නෑ. කොච්චර රාජ්‍ය සම්මාන ලැබුවත් ඔවුන්ට වැඩක් නෑ. ඔවුන්ට ඕනෙ ජනප්‍රියත්වය විතරයි.
සටහන ඉඳුනිල් සින්දු

