කේ.පී ගැන පරීක්ෂණ දිගටම


කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ත‍්‍රස්තවාදයට මුදල් එකතු කිරීමට එරෙහි පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පරීක්ෂණ සිදු කෙරෙන බව නීතිපති අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය  හමුවේ කැඳවූ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව කියා සිටියේය.

කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශන වල වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට බාර දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.