කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීහු හතරක් ලොකු පොරයක


(සුජිත් හේවාජුලිගේ )

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර  තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන්  සිවු දෙනකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල නැවතත්  දැඩි ලෙස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

මින් අයකු විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහු දිගින් දිගටම  එම  ධූරය ඉල්ලා සිටින බව  ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන්  අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූවේ  මේ තනතුර 
ලබාගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ පුතා  ඇඳුම් පවා මසා ගෙන සිටින බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉවත් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය නොවිසිඳෙන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පිරිසක් කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත්වීමෙන් පසු  රජයට දැනුම්දී  ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයද මේ වසරේදී නොකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

මුදල් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමැතිධුර පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයාගේ අදහස යැයිද  එම ආරංචි මාර්ග පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු  විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී  ඊයේ පරාජයට පත්විය.