කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ භාර ගැනීම 25 දක්වා


2016-12-06-ent-133

ශ්‍රී ලාංකේය සිනමාවේ 70 වන සංවත්සරයට සමගාමීව ජනවාරි මස 8 වැනිදා පැවැත්වෙන කෙටි චිත්‍රපට සම්මාන උලෙළ සඳහා නිර්මාණ භාර ගැනීම මේ වනවිට සිදුවෙයි. කෙටි චිත්‍රපට නිර්මාණය කරනවානම්, එය මෙම උලෙළ සඳහා කෙටි චිත්‍රපට යොමු කිරීමට ඔබටත් හැකියාව ඇත. මෙම උලෙළ සම්බන්ධයෙන් සඳහන් කිරීමට අප සමග එක්වූයේ "සිනෙත්වින්" සිනමා සංවිධානයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන බුද්ධික හසිත නවරත්නය.

 

කෙටි චිත්‍රපට උලෙළ ගැන මුලින්ම කතා කරමු?

2016-12-06-ent-135මේ කෙටි චිත්‍රපට උලෙළ මීට වසර දෙකකට පෙර අපි කළා. සිනමාවට ළැඳියාවක් දක්වන දක්ෂයන්ට මේක හොඳ අවස්ථාවක්. මේ උලෙළ කරන්නෙත් තරුණ පිරිසක් එකතුවෙලා. පළමු උලෙළෙදිත් අපිට චිත්‍රපට දෙසීයක් පමණ ලැබුණා. මේ වෙද්දිත් අපට චිත්‍රපට ලැබෙමින් පවතිනවා. මෙවර මෙම උලෙළේ සුවිශේෂිත්වය තමයි ලංකාව පුරා ඉන්න අයගේ කුසලතා ඇගයීමකට ලක්කරනවා. ජූරියක් විසින් ඔවුන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරනවා. ඒ ජූරිය කෘතහස්ත නිර්මාණකරුවන්ගේ ජූරියක්. මෙවර උලෙළේදී "දිමුතු සිතුවම්" සංසදය එදා මෙදා තුර තිරගත වූ චිත්‍රපට වැඩි ප්‍රමාණයක සිනමා දර්ශනවල සිතුවම් දැක්මක් පැවැත් වෙනවා. එයත් විශේෂත්වයක් බවට පත්වෙයි. ජනවාරි මස සිංහල සිනමාවේ 70 වන සංවත්සරය පැවැත්වෙනවා. එයට සමගාමීව අගනුවරින් බැහැරව රත්නපුර ප්‍රදේශයේ තමයි මෙය සංවිධානය කළේ.

 

මෙම උලෙළ සංවිධානය කරන්නේ කවුද? මොකක්ද ඔවුන්ගේ සමාජ වලංගුභාවය?

%සිනෙත් වින්^ සිනමා සංවිධානයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ මම. මම පසුගිය කාලෙම සිනමාවට සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩමුළු සිදුකර තිබෙනවා. අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ අගනුවර මෙවැනි දේ වැඩි වශයෙන් සිදු කරන්න. ප්‍රාදේශීය වශයෙන් අලුත් අත්දැකීමක් දෙන්න උත්සහ කළා. මෙවර "දිමුතු සිතුවම්" සංසදය අප හා එක්වෙනවා. ඇත්තටම අපි මේක කරන්නේ සිනමාවට තියන ළැඳියාවට. කිසිම ආයතනයක මූල්‍ය අනුග්‍රහයක් බලාපොරොත්තු නොවී තරුණ පිරිසගේ ස්වේච්ඡා දායකත්වයෙන් තමයි මෙය සිදුකරන්නේ.

 

මේ උලෙළ නියෝජනය කරන නිර්මාණකරුවන්ට අවසානයේදී සම්මානයකින් පමණක් සෑහීමකට පත්වෙන්න සිදුවෙනවද?

නැහැ. අපි ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ දෙවන චිත්‍රපටය නිර්මාණය කරගන්න කැමරා පහසුකම් සහ සංස්කරණ පහසුකම් අපි ලබා දුන්නා. දෙවන චිත්‍රපටයට අතදීමක් ලෙස. ඔවුන් සම්මානයකින් පමණක් සෑහීමකට පත්වෙන්න සිදුවෙන්නෑ. මෙවරත් අපි ඒ පහසුකම් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ජූරියෙන් ලබාදෙන සහතිකය කෙටි චිත්‍රපටකරුවන්ට ඉදිරියට යන්න ලොකු ශක්තියක් බවට පත්වෙයි. මේ විනිශ්චයේ විනිවිධ භාවයක් තියෙනවා. ඒ නිසා සාධාරණයක් තියනවා කියලා මම හිතනවා.

 

පළමු කෙටි චිත්‍රපට උලෙළට සාපේක්ෂව බලද්දි මෙවර උලෙළේ විශේෂත්වය මොකක්ද?

මෙවර අප තාරුණ්‍යයේ නිර්මාණශීලි කෙටි චිත්‍රපටකරුවන්ට සම්මානයක් ලබාදෙනවා. තාරුණ්‍යයේ වෙනස්ම හැඩයක නිර්මාණ කරන කෙටි චිත්‍රපටකරුවන් තෝර ගන්නවා. අනිත් විශේෂම කාරණාව තමයි කෙටි චිත්‍රපට සඳහා ස්ත්‍රී දායකත්වය ලබාගැනීම. මේක ලංකාව වගේ රටකට ඉතා වටින දෙයක් ලෙස අප සලකනවා. චිත්‍රපට අධ්‍යක්ෂණයට ස්ත්‍රී දායකත්වය සිදු වුණේ ඉතා අල්ප වශයෙන්. සුමිත්‍රා පීරිස් මැතිනිය දක්ෂ අධ්‍යක්ෂකවරියක්. ඉනෝකා සත්‍යාංගනී මහත්මිය අතිදක්ෂ රුඩිකල්වාදී රීතියකින් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන කෙනෙක්. මේ අංශයට මාලනී ෆොන්සේකා මහත්මියත් දායක වී තිබෙනවා. කෙටි චිත්‍රපට අංශයෙත් ස්ත්‍රී දායකත්වය දුන්න දක්ෂ කීපදෙනෙක් ඉන්නවා. ඒ අය දිරිගන්වමින් ස්ත්‍රී දායකත්වයේ විශිෂ්ටතා අගයමින් සම්මානයක් මෙවර අප ලබාදෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ කෙටි චිත්‍රපට ඇගයන්නත් බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා ඔවුන්ටත් මෙම උලෙළට නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා. ඔවුන් වෙනුවෙන් විශේෂ සම්මානයක් අපි ලබාදෙනවා.

 

 

මෙම උලෙළට නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී තිබෙන සීමා මායිම් මොනවද?

පසුගිය වසර දෙක තුළ සිදුකළ කෙටි චිත්‍රපට තමයි අපි මෙම තරගය සඳහා යොදා ගන්නේ. විනාඩි 15ත්, 20ත් අතර විත්‍රපට ගන්නවා. මෙය විවෘතයි. වයස් සීමාවක් නැහැ. මෙම මස 25 වැනිදා දක්වා අපි නිර්මාණ භාර ගන්නවා. එම නිර්මාණ ජූරියේ විශේෂ ඇගයීමට ලක්වෙනවා. මෙහි තිබෙන සුවිශේෂත්වය අපි පෙර සඳහන් කළ නිර්මාණ අංශ තුන. ඒ ඔස්සේ නිර්මාණ යොමුකළ හැකියි. තාරුණ්‍යයේ වෙනස් හැඩයක නිර්මාණ, ස්ත්‍රී දායකත්වය, විශේෂ අවශ්‍යතා සහිත වූවන් මෙම අංශ තුන හරහා නිර්මාණ යොමු කළ හැකියි. අපට නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.

0773 744 009

නිදුක් මධුෂික

 

2016-12-06-ent-134