ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ලවී තිබූ තහනම් උත්තේජක චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට සනාථ කිරීමට ප්‍රබල සාක්කි නොමැතිවීම හේතුවෙන් එසේ නිදහස් කැරුණු බව අයිසීසීය බදාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා කරමින් අයිසීසීය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කුසල් ජනිත්ට තරග සඳහා සහභාගීවීම තහනම් කැර තිබිණි. ඒ අනුව නිමාවට පත්වූ 20-20 ලෝක කුසලාන තරගාවලියද ඔහුට අහිමි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා කුසල් නැවත එක්කරගන්නවාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි ආරංචි සඳහන් කරයි.
මේ අතර අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුසල් ජනිත් පෙරේරා තමා වෙනුවෙන් පෙනීසිටි හා තමාට උදව් කළ සෑමදෙනාටම ස්තූතිය පළ කළේය.