කුවේට් සුරක්ෂා නිවහනේ ගෘහ සේවිකාවන් බහුතරයට කොරෝනා


 

( තිළිණි ද සිල්වා )

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී  සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම තානාපති කාර්යාලය කියා සිටී.

එබැවින් එරට  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටි සුරක්ෂා නිවහන සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බාරගැනීම නතර කිරීමට තීරණය කර ඇතැයිද එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව මෙම අවස්ථාව වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුව ඇති බැවින් මින් ඉදිරියට කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට බාර නොගැනීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් තම සේවා ස්ථානවල යම් ගැටලුවක් මතු වුවහොත් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට සේවයේ නිරත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මත කුවේට් තානාපති කාර්යාලයේ රැකියා හා සුභ සාධන අංශයේ නිලධාරීන්  බහුතරයක් සේවය අවසන් කර නැවත ලංකාවට යැවීමට කටයුතු කර ඇති බැවින් තම සේවා ස්ථානවල යම් ගැටළුවක් මතු වුවහොත් හාම්පුතාට හොර රහසේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, 25354633 දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙස දන්වමි.

තවද යම් ශ්‍රමිකයෙකු තම හාම්පුතා යටතේ තවදුරටත් සේවය කිරීමට අකමැති නම් හාම්පුතාට ඒ බව දන්වා ඔහු සමඟ රුමතියාහි පිහිටි මිනිස් බල අධිකාරිය යටතේ පවතින “අමාල මනිසිල්” වෙත ගොස් කුවේට් රජය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහන වෙත බාරවීමට කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවේට් හි සිටින ලාංකික ශ්‍රමිකයින්ට දන්නවා සිටී.

එසේ නොකොට සේවා ස්ථානයෙන් බැහැරව පැමිණෙන අයට තම වාසස්ථානයද අහිමි වන අතර නැවතත් තම හාම්පුතාට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයට බාරදීමට සිදුවනු ඇති අතර නැතහොත් තමාට වාසස්ථානයක් සොයා ගැනීමට සිදුවනු ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

මේ අතර තානාපති කාර්යාල නිලධාරීන් පිරිසකට හා සුරක්ෂා නිවසේ පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා සිට සති තුනක් පුරා වසා තිබූ  තානාපති කාර්යාලය හදිසි මහජන සේවා සැපයීම සඳහා පමණක්  අද  (18) දිනයේ සිට අර්ධ වශයෙන් විවෘත කරන බව ද කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.