කුවේටයෙන් පිටුවහල් කළ 32ක් දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් ,එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ.

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකි .

මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබූ කාන්තාවන් අනුරාධපුරය, වව්නියා ,ගම්පහ ,කින්නියා , කොළඹ ,කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකාරියෝ වූහ .‍ෙ

කුවේට් ඩිනාර් 250 ක් වැනි වැඩි වැටුප් ලබා ගැනීමට , නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හෝ තම පෞද්ගලික නිදහස වෙනුවෙන් මෙම කාන්තාවන් පිරිස එසේ තම සේවා ස්ථානවලින් පළා විත් සිටියාය.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර , මැදිහත් වී කටයුතු කිරීමෙන් පසු මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ .

මේ වනවිට 30,000 ක පමණ පිරිසක් සිය ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පළා විත් , වීසා නොමැතිව , පිටස්තර ප්‍රදේශ වල රැකියා කරමින් ජීවත් වන බවට තොරතුරු වාර්තා වී තිබේ

.