කුලියාපිටි නවකවද සිද්ධියේ සිසුන් රිමාන්ඩ් බාරයට


(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවකවදය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත්  සිසුන් සිව් දෙනා මේ මස 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියම කළේය.

එලෙස බන්ධනාගාර ගතවූයේ මාරස්සන ප්‍රදේශයේ එරංග කනිෂ්ක බණ්ඩාර, වැලිගල්ල පදිංචි සිසිර දසුන් වීරසිංහ, රඹුක්කන පදිංචි තිමිර ජයනාත් හා නිකවැරටියේ කාවින්දි අප්සරා නැමති එම කාර්මික විද්‍යාලයේම  සිසුන් තිදෙනෙකු හා සිසුවියෙකි.

නවකවදය විඳදරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවි හාණිකර ගන්නට වැවට පැන්න බව කියන  සිසුවිය මේ වනවිටත් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නීවාසික ප්‍රතිකාර ලබයි.

මෙහිදී කරුණු දැක්වූ කුලියාපිටිය පොලිසිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන දැරිය මෙම සිදුවීම් මාලාව හේතුවෙන් දැඩි කම්පාවට පත්ව සිටින බවයි.

එමෙන්ම ශාරීරිකව හා මානසිකව විවිධ වධ හිංසා පමුණවා තිබූ බවට දැරියගේ ප්‍රකාශ අනුව හෙළිවූ බවත් වින්ධිත දැරිය ඒ පිළිබඳ ගුරුවරුන්ට හා සිය ඥාතීන්ට පවසා ඇති බවත් කරුණු අනාවරණය වූ බවද පැවසීය.