කුරුණෑගල දැවැන්ත නුග ගස කැපීම නගරාධිපති අත්හිටුවයි


( පුෂ්පකුමාර ජයරත්න )
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන පිවිසුම් මාර්ගය සකස් කිරීමේදී ඒ ආසන්නයේ පිහිටි ඉපැරැණි දැවැන්ත නුග ගසක් කපා ඉවත් කිරීමට යාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ජනතා විරෝධය සැලකිල්ලට ගෙන එම ගසා කපා ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පියවර ගෙන ඇත.
 
ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට පිවිසීම සඳහා මහනුවර ප්‍රධාන මාර්ගය ගැට්ටුවාන සිට මල්ලවපිටිය මංසන්ධිය දක්වා මංතීරු හතරකින් පුළුල් කිරීමට නියමිත අතර ඒ සඳහා බාධකයක්ව පවතින මෙම සුවිසල් ගස කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇත.
 
ඉතා දීර්ඝ කාලයක් කිසිදු බාධාවකන් තොරව ජනතාවට සෙවණක් දෙමින් පරිසරයට සිසිලස සැපයූ මෙම දැවැන්ත වෘක්ෂය කපා ඉවත් කිරීමට යාම සම්බන්ධයෙන් මේවනවිට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙන අතර ජනතාව ඉල්ලා සිටින්නේ එම ගස බේරා පරිසරය සුරකමින් මෙම මාර්ගය සංවර්ධනය කරන ලෙසය.
 
 එම ජනතා මතයට කන්දෙමින් අදාළ මාර්ග සංවර්ධනය සඳහා මෙම ගස කපා ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර පියවරක් ගන්නා තෙක් මෙම ගස කපා ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.