කුරුණෑගල තැලසීමියා ඒකකය වසාදමයි


(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද  (21) තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක වන එම උපස්ථායිකාවට සහ 13 හැවිරිදි ඇගේ දියණියටද වයිරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියලු ප්‍රතිකාර සේවාවන් අද දින පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවා එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මේ දිනවල කුලියාපිටිය ආශ්‍රිතව පැතිර යන කොරෝනා පොකුර හා සම්බන්ධ ආසාදිත රෝහල් උපස්ථායිකාවගේ සැමියාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ. ඔහුගෙන් උපස්ථායිකාවට වයිරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.