කුමාර් ගුණරත්නම්ට යන්න වෙයි


ආගමන විගමන බලධාරින් විසින්  තමා අත්අඩංගුවට ගැනීම හෝ  මෙරටින් පිටුවහල් කිරීම වළක්වාලන්නැයි  ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා විසින් ගොනු කැරුණු  මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග නොකරම  ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු  කේ ශ්‍රී පවන්,ප්‍රිසාද් ඩෙප්, ඊවා වන සුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව මේ තීන්දුව දුන්නේය.

මෙම තීන්දුවත් සමඟ  කුමාර් ගුණරත්නම් මහතාට අද (18) වන තෙක් මෙරටේ  රැදී සිටීමට අවසර දුන් නියෝගයද අවසන් විය.

කුමාර් ගුණරත්නම් මහතා ශ්‍රී ලාංකික  පුරවැසියකු නොවන බවත්  ඔහු ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේ නීතී විරෝධිව අයුරින් බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  විරාජ් දයාරත්න මහතා  අධිකරණයට දැන්වීය.එසේම ඔහු ඕස්ට්‍රේලියාවේ  සිට ලංකාවට පැමිණ ඇත්තේ  සංචාරක වීසා බලපත්‍රයෙන් බවත් එම බලපත්‍රය වලංගු කාලය ජනවාරී 31 වැනිදායින් අවසන් බවද විරාජ් දයාරත්න මහතා කිය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා  මහතා ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ ජිවිත හානි සිදු වේ යැයි බියෙන්  පෙත්සම්කරු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය  ලැබු වහාම ශ්‍රී ලංකාවේ පුවරවැසි භාවය තමාට ඉබේම අහිමිවන බව ද ඔහු නොදැන සිටි බව ද ඔහු කියයි.

කෙසේ වුවද එරට පුරවැසිභාවය අත්හැර ලංකාවේ  රැදී සිටීමට පෙත්සම්කරුගේ අපේක්ෂාව  බවද ඔහු කීවේය.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ප්‍රත්ක්ෂේප කළේය.