කුප්පි ලාම්පුව මිණිපුර මිණි කැටයක් මතු කරයි


කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගොස් 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පස් වැනි යා වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත  සිසුවා මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම අට වැනියා විය.

ඔහු ජීව විද්‍යා අංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ද විය.

ඒ සාමාර්ථ තුනක් ද සමග සහන්ගෙඉසෙඩ් ස්කෝර් කඩඉම් අගය 2.7248කි.

කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි. තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් විය.  එහි සිට පාඩම් කර ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අතර 2014 වසරේ ඔක්තෝබර මාසයේ ඔහුට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයෙන් රත්නපුර නව නගරයේ නිවසක් හිමි විය.

ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කළ අතර මෑතකදී පොත් කඩයක රැකියාවක් ලැබිණි. සහන්ට සහෝදරයෝ දෙදෙනෙකි.  නදුනි නිමාෂා නැගෙනිය පහ ශ්‍රේණියේ ද මල්ෂා ඉමානි 10 ශ්‍රේණීයේ ද උගනිති.

‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවාඑය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක් ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘ යැයි සහන් 2013 දී ලංකාදීපයට කීවේය.

සාමාන්‍ය පෙළ විභාගයයෙන් කොළඹ රාජකීය විද්‍යාලයයට ඒමට ඔහුට වරම් ලැබුණද සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයය අතහැරීමට ඔහු අකමැති විය. ඒ අනුව උසස් පෙළ එම පාසලේම හැදෑරීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව උසස් පෙළ  විභාගයෙන්ද ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන් පස් වැනි තැන ගත් සහන් ලංකාදීපයට මෙසේ කීවේය.

‘සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණාම බොහෝ දෙනෙක් හිතනවා උසස් පෙළ ලේසියි කියලා. මම එහෙම හිතුවේ නෑ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්පූර්ණයෙන් අමතක කර මුල සිට උසස් පෙළ කරන්න ගත්තා. මං ගැන පුවත්පත්වල ගියා නිසා උපකාරක පන්ති සඳහා නොමිලේ පහසුකම් ලැබුණත් මං වැඩිය පන්ති ගියේ නෑ. නිතරම පාසල් ගියා. පාසලේ හිටපු විදුහල්පති උපාලි ජයතිස්ස මහතාගෙන් සහ විද්‍යා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

දවල් කාලයේ දී ජීව විද්‍යා  විෂය පාඩම් කළා. රාත්‍රී අටේ සිට එක පමණ වන තුරු රසායන විද්‍යාව හා භෞතික විද්‍යා පාඩම් කළා, ගණන් හැදුවා.  පරණ ප්‍රශ්න පත්‍ර කළා. පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට ලිව්වා. මේ ලැබුණු ප්‍රතිඵලය ගැන මට හරි සතුටුයි.

අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මා ලද ප්‍රතිඵලය ගැන අම්මටයි තාත්තටයිත් ගොඩක් සතුටුයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හොඳින් කර හොඳ වෛද්‍යවරයෙක් වී දුප්පත් මිනිස්සුන්ට සේවය කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.

මේ මේ තරම් දුර යන්නට උදව් උපකාර කළ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.‘‘

සහන්ගේ මව ලලිතා ද සිල්වා මහත්මිය තම දරුවාගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මෙලෙස කීවාය.

‘‘මම තේවත්තේ වැඩ කරලයි පුතාලට වියදම් කළේ. පුතාගේ වැඩ ගැන සෙයා බලන්න කාලය ලැබුණේ අඩුවෙන්. සමහර වෙලාවට ගෙදර වැඩපළත් පුතා කළා. ඒ අතරේ හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් පසු පුතා උසස් පෙළත් හොඳට සමත් වෙයි කියා මගේ විශ්වාසයක් තිබුණා. පුතා ලබා ගත් ජයග්‍රහණය ගැන මට ලොකු සතුටක් දැනෙනවා.‘‘

සහන්ගේ පියා විජේවන්ත මහතා -

‘‘පුතා වෛද්‍ය වරයෙක් වීමට විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. පුතා වෛද්‍යවරයකු වෙනවා දකින්න අපි කැමතියි. පුතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා. පුතා ඉගෙන ගත්තේ නිවසේ බොහෝ ප්‍රශ්න මධ්‍යයෙයි.‘‘

සහන්ගේ වැඩිමල් සහෝදරිය මල්ෂා ඉමානි -

‘‘අයියා අපිවත් බලාගන්නා අතරතුර තමයි ඉගෙන ගත්තේ. බොහෝ වෙලාවට ගෙදර වැඩත් කළා. අයියා වෛද්‍යවරයෙන් වෙනවා බලන්න අපි කැමතියි. අපේ අයියා ලබා ගත් ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටුයි.‘‘ 

ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරිය

sahan-ratnapura-1 sahan-ratnapura-2 sahan-ratnapura-3 sahan-ratnapura-4