කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී


(තිස්ස කොටින්කඩුව, ප්‍රසංග පෙරේරා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවෙස් හා ගෙවතු අළංකරණය සදහා යොදා ගන්නා කැට වර්ග නිෂ්පාදන කරන ස්ථානයකින්  සොයාගත් අයිස් නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන  රාසායන ද්‍රව්‍ය කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂක අංශයට යොමු කළ බව පොලිසිය කියයි.

කදානේ සුපිරි මහල් නිවාසයක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදයට යොදා ගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය කිලෝ 2500කට අධික ප්‍රමාණයක් ඊයේ (7) සොයාගත් බව පොලිසිය කියයි. 

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම නිලධාරීන් කදාන පොලිසිය සමග ඊයේ (07) සවස කදාන දුම්රිය ස්ථානයට යන මාර්ගයේ අතුරු මාර්ගයක පිහිටි සුපිරි දෙමහල් නිවෙසක් වටලා පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ සහ නිවසට යාබදව කැලෑවෙන් වැසී තිබූ ඉඩමකින්  මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගත් බව කදාන පොලිසිය පවසයි.

මෙම නිවෙස පොලිසිය විසින් වටලන අවස්තාවේ එම නිවෙසෙහි කුලි පදනම මත පදිංචිව සිටි තරුණ යුවළක් සහ දරුවකු නිවෙසෙන් පැනගොස්  ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.