කුඩු මඩින මහ කන්තෝරුව කොළඹ


හොරොයින් මත් කුඩු පාලනය හා අපරාධ වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටවීමට එම සංවිධානය එකඟවී සිටී.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව එම  පියවර ගැනිණි. අන්තර්ජාතික කුඩු ජාවාරමුන් යුරෝපයට අප්‍රිකාවට හා ආසියාවේ සෙසු රටවලට කුඩු යැවීමට ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ යොදා ගනිතියි රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දොහා සමුළුවේදී කියා සිටියේය.

ඔහුගේ ඉල්ලීම පිළිගත් සමුළුව ජගත් සමුළුවේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට පැමිණ රනිල් වික්‍රමසිංහ අගමැති සමග සාකච්ඡා කළේය.

මත් කුඩු පාලනය පිළිබඳ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවීමෙන් දකුණු වෙරළේ කුඩු ජාවාරම මර්දනය කිරීමේ සහාය ලබාගත හැකි බවත් පොලිසිය, යුද හමුදාව හා අන්තරායකාරී ඖෂධ පාලක මණ්ඩලයද සමග සහයෝගයෙන් ක්‍රියා කරන බවත් අධිකරණ අමාත්‍යංශය කියයි.